දෙවැනි දිනයේ දී ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් වාර්තා 9ක්

407

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ අතර තරගාවලියේ වැදගත්ම ක්‍රීඩා ඉසව් වන මීටර් 200 බාලක හා බාලිකා හා මීටර් 400 බාලක බාලිකා ඉසව් ඇතුළුව තවත් ඉසව් රාශියක්ම ක්‍රියාත්මක විය.

පළමු දිනයේ දී ම තරගාවලි වාර්තා 8ක් සහ එක් ජාතික වාර්තාවක්!

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය අද (23) සුගතදාස ක්‍රීඩා පිටියේ ඉදී වූ නවීන ධාවන පථයේ මංගල තරගාවලිය ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකාවේ…

දිනයේ උදෑසන කාලය තුල දැඩි අව් රශ්මියක් නව ධාවන පථය මත තිබූ බැවින් තරමක උණුසුමක් දකින්නට තිබුණි. කෙසේ වෙතත් උදෑසන භාගයේ තරග වාර්තා 3ක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබීම විශේෂත්වයකි.

දිනයේ පළමු තරග වාර්තාව බිඳ හෙළන්නේ වයස අවුරුදු 20න් පහළ බාලක අංශයෙනි. ඒ  ඒ. පුවිතරන් විසිනි. චාවකච්චේරි හින්දු විද්‍යාලය නියෝජනය කළ ඔහු රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 4.70ක දක්ෂතාවක් පෙන්නුම් කළ අතර විමතියට කරුණ නම් පෙර දිනයේ ද මෙම විද්‍යාලයෙන්ම රිටි පැනීමේ නව තරග වාර්තාවක් වයස අවුරුදු 18න් පහළ අංශයෙන්ම බිහිවීමයි. මෙම ක්‍රීඩකයා පසුගිය වසරේ ද 18න් පහළ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහිවූ අතර එය ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ පී. අයි. එන්. පල්ලේගම ක්‍රීඩිකාව විසින් පිහිටුවූයේ මීටර් 1.71ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි.

ඩබ්. කේ. හේෂානි මහේෂිකා වයස අවුරුදු 16න් පහළ කවපෙත්ත ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් අලුත් කළ අතර එය මීටර් 38.29ක් ලෙස දැක්විය.

දිනයේ සවස් භාගයේ ද තවත් අවසන් තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය. ඒ අතරින් වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට කවින්දි සංජානා එදිරිසිංහ සමත් විය. ඒ ඊයේ දිනයේ තෝරා ගැනීමේ වටයේ දී ඇයම පිහිටුවූ තත්පර 25.86 වාර්තාව අභිබවා යමිනි (තත්පර 25.80).

වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 200 ඉසව්වේ නව තරග වාර්තාව අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ විද්‍යාලය නියෝජනය කරමින් තරගවැදි අරුණ දර්ශන විසින් දිනා ගත් අතර තත්පර 21.38 ක කාලයක් වාර්තා කරමින් ඔහු බිඳ හෙළුවේ ඔහු විසින්ම ඊයේ (23) තැබූ වාර්තාවයි.

වයස අවුරුදු 20න් පහළ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහි කිරීමට වළල ඒ. රත්නායක විද්‍යාලයේ මෙන්කේ කනගරත්න ක්‍රීඩිකාව සමත් විය. ඒ මිනිත්තු 10.57.11ක කාලයක් වාර්තා කරමිනි.

වයස අවුරුදු 23න් පහළ උස පැනීමේ බාලිකා ඉසව්වෙන් ද තවත් තරග වාර්තාවක් බිහි කිරීමට පූර්ණිමා ජයමාලී ගුණරත්න ක්‍රීඩිකාව සමත් විය. ඇය මීටර් 1.80ක දක්ෂතාවයක් වාර්තා කළ අතර ඒ  කළුතර මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමිනි.

වයස අවුරුදු 23න් පහළ බාලක මීටර් 200 ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහි කිරීමට ක්‍රීඩකයන් දෙදෙනකු සමත් විය. ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන එම්. සෆාන් හා කොළඹ මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරන සචිත් නිලක්ෂ පෙරේරා එම වාර්තාවට හිමිකම් කී අතර ඒ තත්පර 21.50ක සම කාලයක් වාර්තා කරමිනි.

වයස අවුරුදු 18න් පහළ මීටර් 200 ඉසව්ව නියෝජනය කළ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24.98ක දක්ෂතාවයක් පෙන්වමින් අද දිනයේ අවසන් තරග වාර්තාවට උරුමකම් කීවාය. තවත් දින දෙකක් පුරාවට තරගාවලිය දියත්වන අතර තරගාවලියේ තවත් අවසන් තරග කිහිපයක්ම හෙට (25) දිනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

 >> දෙවැනි දිනයේ සම්පූර්ණ ලකුණු සටහන << 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <