ඔලිම්පික් ගැන අවසන් තීරණයක් ගන්නට දින සූදානම්

79

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසයේ නවතම පුවත ලෙස ශ්‍රී ලංකාවෙන් ද පළමු රෝගියා වාර්තා වී ඇති මෙහොතක මුළු මහත් ලෝකයටම මහත් හිසරදයක් වූ මෙම වයිරසය නිසාවෙන් ඔලිම්පික් උළෙල ද අවලංගු වීමට හැකියාවක් ඇතැයි නවතම වාර්තා සඳහන් කරයි.

කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන ….

මෙම වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වූ දින සිටම ඔලිම්පික් තරගාවලියට මෙයින් බාධාවක් වේ දැයි සියල්ලන් අවධානයෙන් පසු වූ අතර ප්‍රථමයෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ තමන් මෙම තත්වය සඳහා සූදානම් බවත්, කිසිවිටක මෙම උළෙල කල් දැමීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොවන බවත්ය.

නමුත් පසුව මෙම තත්වය වඩාත් අවදානම් සහගත තත්වයට පැමිණි පසු ජපාන ඔලිම්පික් පිළිබඳව අමාත්‍යවරිය වන ශෙයිකෝ හශිමොටෝ ප්‍රකාශ කර සිටියේ යම් හෙයකින් මෙම ක්‍රීඩා උළෙල මෙම වසර අවසානය දක්වා කල් යා හැකි බවයි. ඔලිම්පික් ගිවිසුමට අනුව තරගාවලිය මෙම වසර තුල පැවැත්විය යුතු බවත්, නමුත් තරගාවලිය කල් දැමීමකින් තොරව පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් බවත් ඇය සඳහන් කර සිටින ලදි.

ජපාන බලධාරීන් තමන්ගේ ස්ථාවරයේ රැඳී සිටියත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් හා එයට අදාළ වෛද්‍යවරුන් වරින්වර මෙම තත්වය ගැන අවධානයෙන් පසු වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පවතින තත්වය බලා තරගාවලිය අවලංගු කිරීමකට යා යුතු බව ඔලිම්පික් කමිටු සාමාජික ඩී. පවුන්ඩ් ප්‍රකාශ කර සිටියා. 

“ජපාන ඔලිම්පික් සංවිධායකයින් මැයි මාසය වන තුරු මෙම තත්වය පාලනයකට පත් වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැලකිල්ලෙන් සිටිය යුතුයි. නමුත් එය පාලනයකට පත්වී නොමැති නම් ඔබ නිසැක වශයෙන්ම මෙම තරගාවලිය අවලංගු කිරීමකට යා යුතුයි” යන්න ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

පෙර සංවිධානය කල පරිදි මෙවර ඔලිම්පික් උළෙල මේ වසරේ ජූලි මස 24 වැනිදා සිට පැවැත්වීමට නියමිතව ඇත. නමුත් දිනෙන් දින ක්‍රීඩා තරගාවලීන් විනාශ කරමින් ව්‍යාප්ත වෙන මෙම වයිරසය නිසාවෙන් ඔලිම්පික් උළෙල ද අවලංගු වේ දැයි සියල්ලන් ඉතා අවධානයෙන් බලාසිටී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<