නුවන් සොයිසාට වැඩ වැරදියි

122

දූෂණ විරෝධී නීති තුනක් යටතේ වැරදිකරු බවට ඔප්පු වීම නිසාවෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා හට වසර හයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා සහභාගී විය නොහැකි වන පරිදි තහනමක් පැනවීමට ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව සොයිසා හට 2018 වසරේ නොවැම්බර් මස 31 වැනිදා වසර 6ක් යන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරගාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලව තිබෙනවා.  

තවත් ක්‍රිකට් පුවත්:

ICC දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි සොයිසා මහතා විසින් පහත සඳහන් නීති 3 උල්ලංඝනය කර ඇති නිසාවෙන් මෙසේ වැරදිකරු කර තිබෙනවා.

2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම.

2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.

2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

1997 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 95කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 170ක් දවාගෙන ඇත. 2015 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට එකතු වූ සොයිසා මහතා එහි ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.

එසේම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හටද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා සහභාගී විය නොහැකි ලෙස වසර 8ක තහනමක් පැනවීමට ICCය පසුගිය දා පියවර ගෙන තිබුනා.