මහනුවර සුක්කානම නැවතත් නයිජල්ට

237

2020/21 තරග වාරය සඳහා මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වය නයිජල් රත්වත්තේ හට හිමිව තිබෙනවා. නයිජල් රත්වත්තේ එළඹෙන තරගාවලිය සඳහා නායකත්වයට පත්වූයේ පසුගිය දා පැවති එම ක්‍රීඩා සමාජයේ මහ සභා රැස්වීමේ දී ය.

නයිජල් රත්වත්තේ පසුගිය 2019/20 තරග වාරයේ දී ද මහනුවර නායකත්වය දැරූ අතර එම තරගාවලිය අපරාජිතව නිමා කරමින් ශූරතාව නැවතත් නිත්තවෙලට ගෙන යාමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

මහ සභා රැස්වීම අවසන්; මහනුවර සභාපති අසුන නොවෙනස්

1990 වසරේ උපත ලැබූ නයිජල් රත්වත්තේ සිය රග්බි ගමන ආරම්භ කරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමිනි. එම විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ රග්බි කණ්ඩායමේ නායකත්වය දැරීමට තරම් නයිජල් වාසනාවන්ත විය. 

2003 වසරේ දී මොරිෂස් වෙත යාමත් සමඟින් නයිජල්ගේ ශ්‍රී ලාංකික රග්බි ගමනට තාවකාලික විරාමයක් හිමි විය. කෙසේ වෙතත් සිය රග්බි ක්‍රීඩාව නතර නොකරන නයිජල් 2008 වසරේ දී මොරිෂස් හි ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විදෙස් රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙමිනි. 

2009 වසරේ දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු 2012 වසරේ දී Up Country Lions කණ්ඩායම හා එක්වෙමින් මෙරට ක්‍රීඩා සමාජ රග්බි ආගමනය සටහන් කළේය. එම වසරේ දී ම මහනුවර ක්‍රීඩා සමාජය හා එක්වන නයිජල් මේ දක්වාම එම කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරයි. 

ශූරතාවයේ බලාපොරොත්තු සමඟින් Blues ජයග්‍රාහී මාවතට

පසුගිය වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වයකට පත්වන ඔහු සිය නායකත්ව ගුණාංග මනාව ප්‍රකට කරමින් මහනුවර කණ්ඩායම අපරාජිතව ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ දක්වා රැගෙන යාමට සමත් විය. පසුගිය තරග වාරය තුල ආබාධයකට ලක්වූ නයිජල්ට එම තරගාවලියේ තරග කීපයක් අහිමි විය. 

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන නොවැම්බර් මස ආරම්භ වීමට නියමිතව ඇත. නයිජල් රත්වත්තේ හට මෙවර තරගාවලිය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවායි ThePapare.com සුබ පැතුම් එක්කර සිටිමු. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<