Crowd නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ – ඇන්ඩර්සන්

65
No crowds, no problem

එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පවසා සිටින්නේ ප්‍රේක්ෂකයින් නොමැතිව තරග ක්‍රීඩා කරන්නට සිදු වුනත් තමන් අවස්ථාව ලැබුණු සැණින් එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නට ඉතා කැමැත්තෙන් සිටින බවයි.

>> එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු ඇරඹේ

එංගලන්ත ක්‍රීඩකයින් ලබන සතියේ දී තනි තනිවම පුහුණුවීම් ඇරඹීමට නියමිත අතර ඇන්ඩර්සන් වැනි ක්‍රීඩකයින් පවසා සිටින්නේ ක්‍රීඩකයින්ට පනවා ඇති සෞඛ්‍ය නීති රීති නිසා සුපිරි වෙළඳ සැලකට යනවාටත් වඩා ක්‍රීඩා පුහුණුවීම් ආරක්ෂා සහිත වනු ඇති බවයි.

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරන්නේ ජුනි මස පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ජූලි මසට කල් ගිය තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියෙන් මෙවර තරග වාරයට හොඳ ආරම්භයක් ලබා ගත හැකි වනු බවයි.

නමුත් බලධාරීන් පවසා සිටින්නේ වයිරස ව්‍යාප්තියෙන් පසුව තරග පැවැත්විය හැකි ආරක්ෂිතම ක්‍රමය ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීම බවයි.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 584ක් දවාගෙන සිටින ඇන්ඩර්සන් පවසා සිටින්නේ එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති තමාගේ උනන්දුව මදක්වත් අඩුව නොමැති බවයි.  

“මෙවර තරග වාරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ඇති ඉඩක් ගැන කතා කිරීමත් ඉතා සතුටුදායක කරුණක්” වේගපන්දු යවන ක්‍රීඩක ඇන්ඩර්සන්, සිය සගයා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟ Instagram ඔස්සේ සජීව විකාශයකට එකතු වෙමින් පවසා සිටියා. 

“ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු මම හිතන්නේ මට ඉතා පහසුවෙන්, නිදහසේ ක්‍රීඩා කරන්න අවකාශ ලැබෙයි.”

“මම දැන් සෑහෙන කාලයක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනවා. කළමනාකරණ කණ්ඩායමක් ඉන්නවා ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩා තරග සංවිධානය කරන්න.”

ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසා සිටියේ ඔහු ඉතා අඩු ප්‍රේක්ෂක සහභාගිත්වයකින් යුතු කවුන්ටි තරග ද ක්‍රීඩා කර තිබෙන බැවින් ජාත්‍යන්තර තරගවල ප්‍රේක්ෂකයින් නොමැති වීම ඔහුට එතරම් ගැටලුවක් නොවන බවයි.

“ප්‍රේක්ෂකයින් ගොඩක් ඉන්න කොට අපිට ක්‍රීඩා කරන්න බොහොම ලේසියි, ප්‍රේක්ෂකයින් නිසාම අපි අපේ උපරිම දක්ෂතාව දක්වන්න ඕන” ටෙස්ට් තරග 151ක් ක්‍රීඩා කර ඇති 37 හැවිරිදි ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා පවසා සිටියා.

“ප්‍රේක්ෂකයින් නැත්තම් ඔබටම ඒ ජවය හා පීඩනය නිර්මාණය කරගන්න වෙනවා. අවංකවම කියනවා නම් එය නිකන් කවුන්ටි තරග ක්‍රීඩා කරනවා වගේ වේවි.”

එංගලන්ත ක්‍රිකට් සැලසුම් කර තිබෙන්නේ ජූලි මාසයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සති හතකට කලින් පන්දු යවන්නන්ට පුහුණුවීම්  අරඹන්නයි. ස්ටුවර්ට් බ්‍රෝඩ් ද පවසා සිටියේ මේ වන විට එංගලන්තයේ තිබෙන තත්වය නිසා තරග ක්‍රීඩා කරන්නට හැකි තත්වයට ශාරීරික සුවතාවය හදා ගන්නට සති හතක්  වැනි කාලයක් ගත වනු ඇති බවයි.

>> ක්‍රීඩකයන්ගේ මනස ශක්තිමත් කරන්න දෝනි එක්වෙයි

“අපේ ශරීර යළිත් ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයට හදා ගන්න අපිට පන්දු යැවීමේ සැසි අට, නවයකටවත් සහභාගී වෙන්න වෙයි” බ්‍රෝඩ් පවසා සිටියා.

එයට පිළිතුරු දක්වමින් ඇන්ඩර්සන්, “ඔව් ඒක අමාරුයි, ඔබ ගෙවත්තේ කොතරම් පන්දු යැව්වත් පුහුණු සැසිවල හෝ තරගවල ක්‍රීඩා කරනවා වගේ හැඟීමක් එන්නේ නැහැ. ඒ නිසා යළි සුපුරුදු රිද්මයට එන්නට අපිට කල් යයි” ලෙස පවසා සිටියා.

“අපි බලාපොරොත්තු කඩකරගන්නත් හොඳ නැහැ, මොකද අපි අන්තිමට පන්දු යවලා මේ වන විට ගොඩ කාලයක් ගිහින්. අපේ පන්දු ඉලක්කයට යන්නේ නැත්තම් අපි පොඩ්ඩක් කාලය අරන් හෙමින් යළි හැඩගැහෙන්න ඕන.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<