ශ්‍රී ලංකා යෞවනයින්ට තවත් ජයග්‍රාහී තරගාවලියක්

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

379

සංචාරක එංගලන්තය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග 5කින් යුත් යොවුන් එක්දින තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය අද (10) පැවැත්වුණේ කොළඹ SSC පිටියේ දීයි.

එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 48කින් පරාජය කරන්නට එංගලන්තය සමත් වූ නමුත් අද තරගයට පෙර සිටිම තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා යෞවනයින් සමත් වී තිබුණා.

තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක රවීන් ද සිල්වා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර නිත්‍ය නායක දුනිත් වෙල්ලාලගේ මෙම තරගයට එක්ව සිටියේ නැහැ.

එමෙන්ම පෙර තරගවල දී දස්කම් දැක්වූ චමිඳු වික්‍රමසිංහ, පවන් පතිරාජ වැනි ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙම තරගයේ දී විවේක ගැන්වීමට කටයුතු කර තිබුණා.

· ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – අභිෂේක් ලියනආරච්චි, ශෙවෝන් ඩැනියල්, සදීෂ් ජයවර්ධන, රන්ඳු සෝමරත්න, රවීන් ද සිල්වා (නායක), සදීෂ රාජපක්ෂ, වනුජ සහන්, විනුජ රන්පුල්, මල්ෂ තරුප්ති, ලහිරු අබේසිංහ, සකුන නිදර්ශන.

· එංගලන්ත 19න් පහළ කණ්ඩායම – George Thomas, William Luxton, Tom Prest (නායක) , James Rew, George Bell, Rehan Ahmed, James Coles, Alex Horton, Thomas Aspinwall, Benjamin Cliff, James Sales

පළමුව පිටියට පිවිසි එංගලන්ත ආරම්භ පිතිකරු George Thomas ලකුණු 17කට සහ නායක Tom Prest ලකුණු නොලබාම දවා ගැනීමට විනුජ රන්පුල්ට හැකි වුනා.

ඉන්පසු ක්‍රියාත්මක වූ සදීෂ රාජපක්ෂ James Rew ලකුණු 6කට සහ George Bell ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර ලකුණු 14ක් ලබා සිටි Rehan Ahmed පිටියෙන් ඉවත් කිරීමට මල්ෂ තරුප්ති සමත් වන විට එංගලන්ත ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 73ක් ලෙසයි.

ඉන්පසු පිටියට පිවිසි James Coles ලකුණු 6ක් ලබා සිටිය දී දවා ගැනීමට නායක රවීන් ද සිල්වා හට හැකි වූ අතර පසුව පිටියට පිවිසි Alex Horton සහ ආරම්භක පිතිකරු William Luxton එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ගෙන දෙමිනි.

ලකුණු 36ක් ලබා සිටි Alex Horton හත්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට විනුජ රන්පුල්ට හැකි වූ අතර පන්දු 119ක් තුළ අගනා ලකුණු 84ක් ලබා සිටි William Luxton හට ආබාධයක් නිසාවෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

නැවතත් ක්‍රියාත්මක වූ විනුජ රන්පුල් සිය සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි James Sales දවා ගැනීමට සමත් වෙද්දී, Thomas Aspinwall නොදැවී ලබා ගත් ලකුණු 20 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 214ක් රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී විනුජ රන්පුල් ලකුණු 45කට කඩුලු හතරක් සහ සදීෂ රාජපක්ෂ ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර රවීන් ද සිල්වා සහ මල්ෂ තරුප්ති අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 215ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශෙවෝන් ඩැනියල් පළමු පන්දුවේම ලකුණු නොලබා දවා ගැනීමට එංගලන්ත නායක Tom Prestට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි සදීෂ් ජයවර්ධන ලකුණු 7කට සහ ආරම්භ පිතිකරු අභිෂේක් ලියනආරච්චි ලකුණු 24කටත් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 39/3ක් බවට පත්කරමිනුයි.

සදීෂ රාජපක්ෂ සමඟින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 29ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Tom Prestගේ පන්දුවක් හමුවේ සකුන නිදර්ශන දැවී යන විට ලකුණු 20ක් රැස්කර සිටියා.

තරගාවලිය පුරාවට අර්ධ ශතක දෙකක් රැස් කරමින් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ රන්ඳු සෝමරත්න එක් ලකුණකට ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙද්දී, නායක රවීන් ද සිල්වා ලකුණු 13කට සහ විනුජ රන්පුල් ලකුණකට දවා ගනිමින් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන ඒමට එංගලන්ත නායක Tom Prestට හැකි වුනා.

අටවැනි කඩුල්ල සඳහා ලකුණු 27ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 9ක් ලබා සිටි ලහිරු අබේරත්න අනවශ්‍ය පහරකට යොමු වීම නිසාවෙන් Tom Prestගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ Tom Prestට පස්වැනි කඩුල්ල ද හිමිකර දෙමිනි.

මීළඟ පන්දුවාරයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Tom Prest විසින් වනුජ සහන් ලකුණු එක්කට සිය හයවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 156/9ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ රාජපක්ෂ ලකුණු 66ක් රැස්කර සිටිය දී අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 166කට සීමා කරමිනි.

පන්දු යැවීමේ දී එංගලන්ත නායක Tom Prest ලකුණු 41කට කඩුලු 6ක් සහ Thomas Aspinwall ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර Benjamin Cliff සහ James Coles අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ සමඟින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කර තරගාවලිය 3 -2ක් ලෙස අවසන් කිරීමට එංගලන්ත 19න් පහළ කණ්ඩායමට හැකි වුනා.

• එංගලන්ත 19න් පහළ කණ්ඩායම – 214/8 (50): William Luxton 84, Alex Horton 36, Thomas Aspinwall 20*, විනුජ රන්පුල් 4/45, සදීෂ රාජපක්ෂ 2/17

• ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 166/10 (35.1): සදීෂ රාජපක්ෂ 66, අභිෂේක් ලියනආරච්චි 24, Tom Prest 6/41.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<