නිමාලි IAAF ලෝක ශූරතාවයට

160

මලල ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර සම්මේලන (IAAF) ලෝක ශූරතා තරගාවලියේ දී කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස නිමාලි ලියනාරච්චි ඉතිහාසයට එක්වනු ඇත.

මැදි දුර ධාවන ක්‍රීඩිකාවක් වන නිමාලි පසුව මීටර 800 ධාවන ඉසව්ව වෙත යොමු වන අතර එහි දී ඇය දැක්වූ දස්කම්වලින් මුළු දිවයිනේම ආකර්ෂණය දිනා ගන්නට මේ වන විට ඇය සමත්ව ඇත. 2015 වසරේ දී පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ එකම පදක්කමට හිමිකම් කියූ ඇය 2013 වසරේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2014 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සමත් විය.

මලල ක්‍රීඩා ශූරතාවලියට ලන්ඩන් යන අපේ තරු

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන IAAF මලල ක්‍රීඩා තරගාවලිය ලබන මස 4..

සූරියවැව ප්‍රදේශයෙන් බිහි වූ දක්‍ෂ ක්‍රීඩිකාවක් වන නිමාලි පසුගිය වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ එම ඉසව්වේ දකුණු ආසියාවේ දක්‍ෂතම ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. ඉන් අනතුරුව ඇය සහභාගී වූ ප්‍රථම ගෘහස්ථ තරගාවලිය වූ කටාර් හිදී පැවති ආසියානු ගෘහස්ථ ශූරතාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කරන්නට ද ඇය සමත් විය.

මේ ආකාරයට ජාත්‍යන්තර තලය තුළ ද ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ නිමාලි සමස්ත දිවයිනේම අවධානය දිනා ගනු ලබන්නේ යාපනයේ දොරෙයියප්පා ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 800 ඉසව්ව සඳහා පැවති වසර 16ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමත් සමඟයි.  

එහි දී නිමාලි මිනිත්තු 02:03.05ක කාලයක් වාර්තා කර ගනු ලැබුවේ තණකොළ ධාවන පථයක ධාවනයේ දෙමිනි. කෙසේ නමුත් ඉන් අනතුරුව මෙම ඉසව්වේ ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන ගයන්තිකා අබේරත්න එම වාර්තාව නැවතත් බිඳ දැමීමට සමත් විය. නිමාලි එහි දී දෙවන ස්ථානය දිනා ගනු ලැබුවත් එහි දී ඇය වාර්තා කර ගත් මිනිත්තු 02:02.58ක කාලය මේ වන විටත් ඉසව්ව සඳහා ඇය වාර්තා කර ගත් පෞද්ගලික හොඳම කාලය ලෙස සටහන්ව ඇත.     

අනතුරුව ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දක්වා යන ගමන්මගේ දී පැවති අදියර තුනකින් සමන්විත ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇයට ආබාධයක් නිසා ඉහළම දස්කම් අතරට පැමිණීමට බාධා ඇතිවූ නමුත් ඇය තවදුරටත් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය කරා සිය අවධානය යොමු කිරීමට සමත් විය. ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගන්නට නිමාලි සමත් විය.  

එහි දී මීටර 800 ඉසව්වේ අවසන් තරගයේ දී ඇයට ඇයගේ ආබාධයට අමතරව තරගය සඳහා සහභාගී වූ ඉන්දියානු ක්‍රීඩිකාව වූ අර්චනාගේ නොමනා හැසිරීම සමඟ ද තරග වැදීමට සිදු විය. එහි දී තරගය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානවල නිමා කළ නිමාලිට සහ ගයන්තිකාට තරගය නිමා කිරීමේ දී බාධා පැමිණවීම හේතුවෙන් අර්චනාව තරගයෙන් ඉවත් කෙරුණු අතර ඒ අනුව නිමාලිට සහ ගයන්තිකාට පිළිවෙළින් පළමු හා දෙවන ස්ථාන පිරිනමන ලදි. ඒ අනුව ආසියානු තලයේ ජයග්‍රාහිකාව වශයෙන් නිමාලි ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ අතර ඇය ලන්ඩන් නුවර දී ඉහළම දස්කම් අතරට පැමිණෙමින් පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අවසානයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිමාලි සිය අදහස් දක්වමින් පවසා සිටියේ ඇයට ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට ලැබෙන මෙම අවස්ථාව පිළිබඳව ඇය සතුටට මෙන්ම ආඩම්බරයට පත්වන බව සහ එහි දී උපරිම දක්‍ෂතා අතරට පැමිණෙමින් අයගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

ඒ අනුව IAAF ලෝක ශූරතා තරගාවලියේ දී කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන නිමාලි ලියනාරච්චි හට පදක්කමක් දිනා ගනිමින් දිවයිනට කීර්තියක් අත්කර දෙන්නට ThePapare.com සුභාශිංසන එක්කර සිටියි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<