2018 වසරෙන් නව වසරට පිහිනා යාමට පෙර

167

2018 වර්ෂයේ නිමාවත් සමඟ අප රටේ පිහිනුම් ක්‍රීඩාව ගමන් ගන්නා දිශානතිය පිළිබඳ ක්‍රීඩාලෝලීන් වශයෙන් අප හට ඇත්තේ ඉමහත් සතුටක් සහ අනාගතය පිළිබඳ සුබ බලාපොරොත්තු ගොන්නකි.

මෙම වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර තලයේ තරගාවලි රැසකට දායකත්වය සැපයූ අතර එම බොහෝ අවස්ථාවන් හී මව්බිම වෙනුවෙන් තම උපරිමය ලබා දෙමින් ශ්‍රී ලංකා නාමය දසත පතුරුවාලීමට අපගේ සාඩම්බර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.

2018 වසරේ මතක සටහන්

මෑත වකවානුවේ අප මාතෘ භූමියෙන් බිහි වූ විශිෂ්ටතම පිහිනුම් ශූරයා මැතිව් අබේසිංහ බව අවිවාදයෙන් පිළිගත යුතුය.

මෙම වසරේදීත් සිය සුපුරුදු හපන්කම් ගෙන හැර පෑමට මැතිව් සමත් වූයේ මව්බිමේ නාමය ලොවක් ඉදිරියේ ඉහළින් ඔසවා තබමිනි. බිඳ හෙළීමට අසීරු යැයි මෙතෙක් කලක් සැලකූ පැරණි  වාර්තා කිහිපයක්ම අලුත් කරමින් ඒවා තමන් සතු කර ගත් මැතිව් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මෙන්ම ඉන්දුනීසියාවේ ජකර්තා හී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ සහය පිහිනුම් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේය.

මැතිව් අබේසිංහ

මැතිව් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සිය උසස් අධ්‍යාපන කටයුතු හදාරන අතරවාරයේ පිහිනුම් ක්‍රීඩාවට ද තම දෛනික කාල සටහනේ වැඩි බරක් ලබා දෙමින් දිනපතා ඉතා කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වේ.

ඒකල කෙටි දුර සහ දිගු දුර පිහිනුම් ජාතික වාර්තා 8කට හිමිකම් කියන ඔහු එවැනි දස්කමක් පෑමට සමත් වූ එකම ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා බවට ඉතිහාසගත වේ.

මෙම වසරේ දී ගෝල්ඩ් කෝස්ට් හී පැවති පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තමන් සහභාගි වූ සෑම පිහිනුම් ඉසව්වක් සඳහාම උපරිම සාධාරණයක් ඉටු කරමින් බලාපොරොත්තු වූවාටත් හොඳ කාල ගණනයන් සඳහා ගමන් කිරීමට මැතිව් සමත් විය. ඒ අතරින් මීටර් 100 සහාය පිහිනීමේ කණ්ඩායම ජාතික වාර්තාව දෙවරක්ම අලුත් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම වඩාත්ම කැපී පෙණුනි.

මීටර් 50 නිදහස් ආර ඉසව්වට සහභාගී වූ මෙරට ක්‍රීඩකයින් තුල කලක තිස්සේ පැවතුණු භීතිකවක් නම් එම ඉසව්ව තත්පර 23කට වඩා අඩු කාලයකින් පිහිනීම අපහසු බවය. එය පුස්සක් බවට පත් කරමින් මැතිව් කාල ගණක යන්ත්‍රයේ තත්පර 22.65 වාර්තා වන විට තරගය නිමා කරමින් ජාතික වාර්තාව තමන් නමින් ලියා ගැනීමට සමත් විය.

මැතිව් ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නට මැතිව් අබේසිංහ සමත් වුනා.

ඉතා තරගකාරී මුහුණුවරක් ගත් මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් බ්‍රිතාන්‍යය ජාතික බෙන්ජමින් ප්‍රවුඩ් තත්පර 21.30 කාලයක් වැය කරමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය. මැතිව්ගේ දක්ෂතාවය ඔහුට සමස්ත ඉසව්වේ අටවැන්නා ලෙසින් නිමා කිරීමට ප්‍රමාණවත් විය. මැතිව් විසින් බිඳහෙළූ දෙවන ජාතික වාර්තාව පැමිණෙන්නේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් වන අතර ඒ සඳහා ඔහුට ගත වූයේ තත්පර තත්පර 49.11ක කාලයකි.

මින් පෙර කිසිදු ශ්‍රී ලාංකීය කණ්ඩායමක් මීටර් 100 සහය පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ තරගාවලියකට සහභාගි නොමැති අතර සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් අභියෝගය භාර ගත් මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ඩි සිල්වා, අකලංක පීරිස් යන හැකියාවෙන්  පරිපූර්ණ යොවුන් ක්‍රීඩකයින් සිව්දෙනා අපේක්ෂා කළ මට්ටමටත් ඉක්මවා ගිය විශිෂ්ට ප්‍රතිඵලයක් අත්පත්කර ගැනීමට සමත් වීම සුවිශේෂී වේ.

සහභාගී මූලික වටයේ සහ අවසන් පූර්ව වටයේ තරගයන් හීදි කණ්ඩායමක් ලෙස එකා මෙන් ක්‍රියා කරමින් ඔවුන් සිව්දෙනා පෞද්ගලිකව තමන්ගේ උපරිමය තම පිළේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙමින් අවසන් මහා තරගය දක්වා දුරක් පැමිණෙමින් පිහිනුම් ක්‍රීඩාව දෙසට බොහෝ දෙනාගේ ඇස් ඇරලීමට ඔවුන් සමත් විය. නමුත් අවාසනාවකට මෙන් අවසන් ක්‍රීඩකයා නියමිත වේලාවට කලින් ලබාගත් වැරදි තරග ආරම්භයක් නිසාවෙන් තරගයෙන් ඉවත් කිරීමට තරග තීරකවරුන් කටයුතු කෙරිණි.

එතැනින් නොනැවතුණු මෙම අධිෂ්ඨානශීලී තරුණයන් සිව්දෙනා පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමා වී මාස කිහිපයකට පසු 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පිටව ගියේ මව්බිම වෙනුවෙන් රන් පදක්කමක සිහිනයට නැවුම් අපේක්ෂාවක් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුල දල්වාලමිනි. එම බලාපොරොත්තුවලට ජීවයක් එක් කිරීමට සමත් වූ ඔවුන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුල දී ජාත්‍යන්තර පිහිනුම් තරගාවලියක දී තමන් මුහුණ දුන් දෙවන අවසන් මහා තරග අත්දැකීම ලබාගැනීමට සමත් වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

මෙවර කණ්ඩායමේ ඉරණම කෙසේ හෝ වෙනස් කරමින් ජයග්‍රහණය කරා පිහිනා යෑමේ බලාපොරොත්තුවෙන් පිහිනුම් තටාකයට පිවිසුනත් සියලු අපේක්ෂාවන් සුනුවිසුනු වී ගියේ නැවතත් වරක් ලබා ගත් නීත්‍යානුකූල නොවන ආරම්භයක් නිසා අවසන් මහා තරගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීම නිසාවෙනි.

අකලංක පීරිස්

සාන්ත පීතර විද්‍යාලය ඉගෙනුම හදාරන යෞවනයෙකු වන අකලංක පීරිස් ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හී පසුගිය ඔක්තෝබර් මස පැවැත්වූ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සිය ක්‍රීඩා දිවියේ දැවැන්ත ඉදිරි පියවරක් තබමින් මීටර් 50 පසුපස ආර තරග ඉසව්වේ ජාතික වාර්තාවට අයිතිවාසිකම් කීමට සමත් වූයේ එම තරග ඉසව්වෙන් ලොව හොඳම පිහිනුම් ශූරයින් දසදෙනා අතරට ඔහුගේ නාමය ද ඇතුළත් කරගනිමිනි.

අකලංක එම ඉසව්වේ මූලික වටයේ තරගයේ දී ඔහු විසින් කලින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන තත්පර 23.52 කාලයට වඩා තත්පර 19කින් තම දක්ෂතා වර්ධනය කර ගැනීමට සමත් වූ අතර අවසන් පූර්ව තරගයේ දී ඔහු සටහන් කළ තත්පර 23.36ක කාලය අවසන් මහා තරගයේ ආසනයක් වෙන් කරවා ගැනීමට ප්‍රමාණවත් නොවීය.

තවද සිය අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු මනා සමබරතාවයකින් යුතුව හසුරුවා ගැනීමට සමත් අකලංක හට ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වුණු කාල සීමාවේ දී අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිදු වූ අතර එම අභියෝගයට සාර්ථකත්ව පිළිතුරු දෙමින් තරගාවලිය අතරතුර විභාගයට පෙනී සිටිමින් තමා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙනා විශිෂ්ටයෙකු බව ලොවට හඬා කීමට සමත් විය. විදෙස් රටක දී උසස් පෙළ විභාගයට  මුහුණ දුන් ප්‍රථමයා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එකතු විය.

පිහිනන්නටත් කලින් ඉතිහාසය අලුත් කළ අකලංක

අද (18) උදෑසන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සූදානම් වුණේ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහායි. මේ අතර ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසු සිසුවියන්…

යොවුන් පිහිනුම් ශූරයින් එසේ ලොවක් ඉදිරියේ තම ක්‍රීඩා කෞෂල්‍යයන් විදහා දක්වද්දී අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ  ක්‍රීඩකයෝ ඔවුන්ගේ හැකියාවන් ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලවල දී ඊට නොදෙවෙනි අයුරින් පෙන්වූහ.

මෙම වසරේ මැලේසියාවේ ෆීනෑන්ග් හී පැවති පළමුවැනි ආසියා පැසිෆික් ප්‍රවීණයන්ගේ තරගාවලියේ දී චන්ද්‍රික ගුණවර්ධන සහ රොෂිත් පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දීමට සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ වර්තමාන කිමිදුම් පුහුණුකාර ධූරය දරන චානක වික්‍රමසිංහ මහතාට එම තරගාවලියේ දීම රන් පදක්කම් තුනකින් ශ්‍රී ලංකා මාතාව සරසන්නට හැකි විය.

මේ අනුව පිහිනුම් ක්‍රීඩාවට වසන්තය ගෙන ආ ඒ ජයග්‍රාහී 2018 වර්ෂයේ නිමාවත් සමඟම එළඹෙන 2019 මීටත් වඩා අති සාර්ථක ප්‍රතිඵලයන් අත්පත්කර ගැනීමට හැකි වේවායි යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<