ගප්ටිල්ගේ ලකුණු වැස්ස නිසා බංග්ලාදේශයට දැඩි හානියක්

1110

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසිලන්තය අතර ක්‍රස්ට්චර්ච් හිදී ඊයේ (16) පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

මාටින් ගප්ටිල් බංග්ලාදේශ දක්ෂතාවලට කෙනෙහිළිකම් කරයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ආයාසයකින් තොරව ලබා ගත් ශතකය…

මේ තරගයේ දී නවසීලන්ත ජය තහවුරු කිරීම වෙනුවෙන් මාර්ටින් ගප්ටිල් හා නායක කේන් විලියම්සන් පිතිකරණයෙන් වැඩි වගකීමක් ඉටු කළේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්තය සුපුරුදු පරිදි පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ පීඩාකාරී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එකා පසු පසු එකා ක්‍රීඩාගාරයට හැරී යන්නට විය. ලකුණු 93කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ බංග්ලාදේශයට තරගයක් දීමට හැකි වාතාවරණයක ලකුණු ප්‍රමාණයක් වෙත රැගෙන ගිය මොහොමඩ් මිතුන් හා සබීර් රෙහෙමාන් පිළිවෙළින් ලකුණු 57ක් හා ලකුණු 43ක් ලබාගත්තේය.  ඒ අතරින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මිතුන් පන්දු 69කදී ලකුණු 57ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමඟිනි.

අවසානයේ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49කුත් පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 226ක් පමණි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මද වේගපන්දු යවන ලුකී ෆර්ගසන් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ස්ටේන්ගේ බාධා කිරීම් හමුවේ කුසල් පෙරේරාගෙන් නොපසුබට උත්සාහයක්!

විස්සයි විස්ස තරගයකටත් වඩා උණුසුම් අයුරින් ගලා යන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ…

ජයග්‍රහණය සඳහා ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 36කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරා ගත්හ. එහි දී දක්ෂ පිතිහරඹයක නිරත වූ මාර්ටින් ගප්ටිල් මේ තරගාවලියේ නොකඩවා දී ලබා ගත් දෙවැනි ශතකය ද ලබාගත්තේ පන්දු 88කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 118ක් රැස්කරමිනි.

නායක විලියම්සන් (ලකුණු 65*) සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127ක දී ලකුණු 143ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සවිමත් අඩිතාලමක් දැමීමට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන ගප්ටිල් සමත් විය. එහි දී පන්දු 86කට මුහුණ දුන් විලියම්සන්, හතරේ පහර 3කින් සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 37 වැනි අර්ධ ශතකය වර්ණවත් කර ගන්නා ලදි.

ගප්ටිල්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පැමිණි රොස් ටේලර් (ලකුණු 21*) සමඟ එක්වූ විලියම්සන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක දී ලකුණු 41*ක නොබිඳුණ සබඳතාවයක් ගොඩනංවමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 20ක දී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 3ක් අන්තර්ගත විය.

තරගයේ වීරයා – මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය)

බංග්ලාදේශය – 226  (49.4): මොහොමඩ් මිතුන් 57, සබීර් රෙහෙමාන් 43, සබීර් රෙහෙමාන් 43, මුෂ්ෆිකුර් රෙහෙමාන් 24, ලුකී ෆර්ගසන් 3/43.

නවසීලන්තය – 229/2 (36.1): මාර්ටින් ගප්ටිල් 118, කේන් විලියම්සන් 65*,

දෙරට අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා ඩුනේඩින් හිදී පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ඇතුළු දේශීය , විදේශීය ක්‍රීඩා පිටියේ සියලුම උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<