යාපනය සහ දඹුල්ල ජයග්‍රාහීව තරගාවලියට

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

183

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගවල දී දඹුල්ල සහ යාපනය කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් කොළඹ සහ ගාල්ල කණ්ඩායම් පරාජය වුනා.

දඹුල්ල සහ කොළඹ අතර තරගය

රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයෙන් දඹුල්ල කණ්ඩායම කඩුලු 4ක ජයක් වාර්තා කළා.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු කොටගත් කොළඹට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර කොළඹ ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 195කට දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

දඹුල්ල ජයග්‍රහණය කරා රැගෙන ගිය අශාන් ප්‍රියංජන් පන්දු 71ක දී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 50ක් වාර්තා කළ අතර, දුශාන් හේමන්ත පන්දු 46ක දී හතරේ 3ක් සමඟ නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා.

ලසිත් අබේරත්න ලකුණු 32කින් හා අභිෂේක් ලියනාරච්චි ලකුණු 24කින් දඹුල්ල ජයග්‍රහණයට දායකත්වය ලබා දෙද්දී, පවන් රත්නායක ලකුණු 23ක් එක් කළා.

කොළඹ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණක් ලබා සිටිය දී දවා ගැනීමට දඹුල්ල ආරම්භක වේගපන්දු යවන ළහිරු සමරකෝන් සමත් වූ අතර, එවිට ලකුණු පුවරුව ලකුණු 2ක් වී තිබුණා.

කොළඹ වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දසුන් ශානක හා අශේන් බණ්ඩාර පිළිවෙළින් පන්දු 50ක දී හා පන්දු 41ක දී හතරේ පහර 3 බැගින් එල්ල කොට ලකුණු 35 බැගින් ලබා ගත්තා.

කොළඹ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 39ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 29ක් ලබා ගත් අතර, අවසන් කඩුල්ලට ලකුණු 26ක් එක් කළ ඉසිත දේව් විජේසුන්දර පන්දු 29ක දී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලපකුණු 24ක් ලබා ගැනීම හැර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අටේ සීමාවෙන් ඉහළට පැමිණීමට දඹුල්ලෙන් ඉඩක් ලැබුණේ නැහැ.

දඹුලු ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවා ගත් අතර, ළහිරු සමරකෝන් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිඳ හෙළා ගත්තා.

තරගයේ වීරයා – අශාන් ප්‍රියංජන් (දඹුල්ල)

  • කොළඹ 195/10 (40.4): දසුන් ශානක 35, අශේන් බණ්ඩාර 35, කුසල් ජනිත් පෙරේරා 29, නිපුන් ධනංජය 26, ඉසිත විජේසුන්දර 24, ලක්ෂාන් සඳකැන් 3/53, ලහිරු සමරකෝන් 2/33, දුෂාන් හේමන්ත 2/37
  • දඹුල්ල – 197/6 (43.3): අශාන් ප්‍රියංජන් 50*, දුශාන් හේමන්ත 41*, ලසිත් අඹේරත්න 32, තරිදු රත්නායක 3/37

දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්

යාපනය සහ ගාල්ල අතර තරගය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව යාපනය කණ්ඩායමට ලකුණු 55ක ජයක් හිමි වුනා.

කාසියේ වාසිය දිනා ගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගාල්ල කණ්ඩායම අයහපත් කාලගුණය මැද තරගය නවතා දමන විට, පන්දුවාර 32කුත් පන්දු 3ක දී කඩුලු 9කට ලකුණු 171ක් ලබා සිටි හෙයින් මෙම පහසු ජයග්‍රහණය යාපනය සතු වුනා.

ගාල්ලට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවූ ප්‍රමෝද් මදුශාන් කඩුලු 3ක්, රවිඳු ප්‍රනාන්දු හා ලහිරු මධුසංඛ කඩුලු 2 බැගින් බිඳ හෙළීම කැපී පෙනුණා. ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 3 පන්දුවාර 5ක් තුල දවා ගැනීමට යාපනය පන්දු යවන්නෝ සමත් වීමෙන් පීඩනය වැඩි වුනා.

එම පීඩනය මැද යම් දුරකට හෝ සාර්ථකත්වයක් දැක්වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 64ක දී හතරේ 5ක් සමඟ ලකුණු 51ක් ලබා ගත් අතර, පන්දු 37ක දී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට කඩුලු රකින පිතිකරු පැතුම් කුමාර සමත් වුනා.

ගාල්ල වෙනුවෙන් ආරම්භක පන්දු යැවූ ඩිල්ශාන් මදුශංක තරගය පුරා කඩුලු 5ක් ලබාගෙන ලබා දුන් තර්ජනය මැද යාපනය ආරම්භයේ අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් මුල් කඩුලු 3ක් ලකුණු 23කට දැවී ගිය අතර, නායක සධීර හා ජනිත් ලියනගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ගොඩනගා ස්ථාවර තත්ත්වයකට රැගෙන ආවා.

සධීර පන්දු 62ක දී හතරේ පහර 5ක් සමඟ ලකුණු 53ක් රැකස්කළ අතර ඔහුට අනගි සහයක් දෙමින් ජනිත් ලියනගේ පන්දු 95ක දී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 62ක් එක් කළා.

යාපනය වෙනුවෙන් ලහිරු මධුසංඛ පන්දු 27ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 22ක් වාර්තා කළ අතර, රවිඳු ප්‍රනාන්දු පන්දු 39ක දී හයේ පහරක් හා හතරේ 4ක් සමඟ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා – රවිඳු ප්‍රනාන්දු (යාපනය)

  • යාපනය – 233/10 (48.4): ජනිත් ලියනගේ 62, සධීර සමරවික්‍රම 53, රවිදු ප්‍රනාන්දු 46, ඩිල්ශාන් මධුසංඛ 5/40
  • ගාල්ල – 171/9 (ඕවර් 3): පැතුම් කුමාර 60*, පසිදු සූරියබණ්ඩාර 51, ප්‍රමෝද් මධුෂාන් 3/42, රවිදු ප්‍රනාන්දු 2/14, ලහිරු මධුසංඛ 2/22

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව යාපනය කණ්ඩායමට ලකුණු 55ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<