2022 NSL සිව්දින තරගාවලියේ වැඩකරුවන්

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

1565

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වුනේ මහනුවර ක්‍රීඩකයින් ශූරතාවය ජයග්‍රහණය කරමිනුයි.

පුරා සති 7කට ආසන්න කාලයක් තිස්සේ මහනුවර, යාපනය, ගාල්ල, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 5 සහභාගීත්වය ඇතිව දිවයිනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක දී පැවැත්වුණු මේ තරගාවලිය සඳහා දේශීය බිමේ සිටින දක්ෂ ක්‍රීඩකයින් 100ක් පමණ සහභාගී වුනා.

ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය තරගාවලි නිසාවෙන් ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් බොහෝමයක් හට මේ NSL සිව්දින තරගාවලියේ තරග මඟ හැරුණු නමුත් ඔවුන් දිවයිනට පැමිණි වහාම මේ තරගාවලිය සමඟ සම්බන්ධ වුනා.

ජාත්‍යන්තර වරම් දිනාගෙන තිබෙන නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තුල නිත්‍ය ස්ථානයක් නොමැති ක්‍රීඩකයින්ට, නැගී එන යොවුන් ක්‍රීඩකයින්ට සහ ජාතික ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි ක්‍රීඩකයින් හට ඔවුන්ගේ දස්කම් තවදුරටත් ඔප මට්ටම් කර ගැනීමට මේ තරගාවලිය හරහා යම් අවස්ථාවක් උදා වුනා.

ඒ අනුව මේ තරගාවලිය තුල දස්කම් දැක්වීමට හැකි වුන බොහෝමයක් ක්‍රීඩකයින් සඳහා එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සහ එංගලන්ත නැගී එන තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිත සඳහා ඇතුළත් කිරීමට ජාතික තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සහ ජාත්‍යන්තර තලය අතර තිබෙන හිදැස හැකි උපරිම මට්ටමකින් අවම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ NSL තරගාවලියේ විස්සයි විස්ස (ආරාධිත), එක්දින සහ සිව්දින ලෙස සෑම ආකෘතියේම තරගාවලි සංවිධානය කොට මේ ක්‍රීඩකයින්ට සිය දස්කම් පෙන්වීම සඳහා හොඳ වේදිකාවක් සකස් කරදීම ඉතාමත් වටිනවා.

වැඩිම ලකුණු ලාභී පිතිකරුවන්

කමිඳු මෙන්ඩිස් (මහනුවර)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් කමිඳු මෙන්ඩිස් අංක 4 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරමින් මහනුවර කණ්ඩායමට මේ ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා.

තරග 6ක ඉනිම් 11ක දී ලකුණු 886ක් ලබා ගත් කමිඳු ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 80.54ක් වැනි ඉහළ මට්ටමක සටහන් වුනා. ඔහුගේ මේ ලකුණු 886ක් ලබා ගැනීම සඳහා 4 පහර 82ක් සහ 6 පහර 10ක් ඇතුළත්ව තිබීම සුවිශේෂී වෙනවා.

ඕෂද ප්‍රනාන්දු (මහනුවර)

මහනුවර කණ්ඩායමේ අංක 3 ස්ථානය සවිමත් කරමින් තරග 6ක ඉනිම් 11ක දී ලකුණු 721ක් ලබා ගැනීමට ඕෂද සමත් වීම නිසා ඔහුට තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය ද හිමි වුනා.

අර්ධ ශතක 3ක්, ශතක 4ක් සහ නොදැවුණු ඉනිම් 2ක් සමඟ ඔහු මේ තරගාවලියේ දී සාර්ථක පිතිකරුවෙක් බවට පත්වුනේ 80.11ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. ඕෂද ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශය ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කර තිබෙන මූලික සංචිතයට ද ඇතුළත්ව තිබෙනවා.

ලහිරු උදාර (මහනුවර)

මහනුවර කණ්ඩායමේ මැදපෙළ සහ ආරම්භය සවිමත් කළ තවත් පිතිකරුවෙක් ලෙස ලහිරු උදාරව හඳුන්වා දීමට පුළුවන්. කඩුලු රැකීමේ වගකීම ද ඉටු කිරීමට හැකි උදාර මේ තරගාවලියේ ඉනිම් 11ක දී ලකුණු 464ක් රැස්කර ගත්තේ අර්ධ ශතක 5ක් ද ලබාගෙනයි.

ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 92ක හොඳම ඉනිම සටහන් කර ගත් උදාරගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 46.40ක පැවතුණා.

සමින්ද ප්‍රනාන්දු (යාපනය)

මංගල NSL සිව්දින තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් යාපනය කණ්ඩායමට පිතිකරණයෙන් වැඩිම දායකත්වයක් ලබා දුන් පිතිකරුවා සමින්ද ප්‍රනාන්දුයි.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ 25 හැවිරිදි දකුණත් පිතිකරුවෙක් වන සමින්ද ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟ ඉනිම් 9ක දී ලකුණු 454ක් ලබා ගත්තේ 50.44ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඔහු ලබාගත් ශතක දෙකම කොළඹ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී පැවැත්වුණු තරග 2කදී වාර්තා වීම කැපී පෙනුණා.

පබසර වඩුගේ (ගාල්ල)

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ වඩුගේ තරග 5ක ඉනිම් 8ක දී ලකුණු

421ක් ලබා ගත්තේ 52.62ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

දකුණතින් පිතිකරණයේ නිරත වන වඩුගේ ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟ තරගාවලිය පුරාවට පිතිකරණයෙන් දස්කම් දැක්වූ අතර මහනුවර සහ යාපනය කණ්ඩායම් වලට එරෙහිව ඔහු සිය ශතක දෙක වාර්තා කරගත්තා.

වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන්,

ප්‍රභාත් ජයසූරිය (කොළඹ)

වමතින් දඟපන්දු යවන 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය මේ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුනා.

කොළඹ කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 4ක ඉනිම් 8ක දී පන්දුවාර 160කුත් පන්දු 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 576කට කඩුලු 26ක් දවා ගැනීමට සමත් වුනේ 22.15ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් ද සහිතවයි.

තරගයක කඩුලු 10 එක් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු 5 අවස්ථා 3ක් සාර්ථක කර ගත් ප්‍රභාත් ගාල්ලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ලකුණු 111කට කඩුලු 6ක් සහ ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තා. ඉනිමක කඩුලු 6ක් දවා ගැනීම මේ තරගාවලියේ ඔහු දැක්වූ හොඳම දස්කමයි.

මලින්ද පුෂ්පකුමාර (දඹුල්ල)

ඉනිම් 7ක දී කඩුලු 24ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන දිනා ගත් මලින්ද පුෂ්පකුමාර දඹුල්ල කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වුනා.

35 හැවිරිදි මලින්ද පන්දුවාර 217කුත් එක් පන්දුවක් තුල ලකුණු 627ක් ලබා දෙමින් මේ කඩුලු ප්‍රමාණය දවා ගත්තේ 26.12ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. තරගයක කඩුලු 10 එක් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු 5 අවස්ථා 3ක් සාර්ථක කර ගැනීමට මලින්දට හැකියාව ලැබුණා.

අසිත ප්‍රනාන්දු (මහනුවර)

වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා අතර සිටින එකම වේගපන්දු යවන ක්‍රීඩකයා වන්නේ අසිත ප්‍රනාන්දුයි.

ඔහු මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඉනිම් 7ක දී කඩුලු 17ක් දවා ගත්තේ 19.00ක් වැනි හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 24 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන අසිත දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුලු 4ක් දවා ගැනීම, මේ තරගාවලිය තුල

ඔහු දැක්වූ හොඳම දස්කමයි. සුරංග ලක්මාල්ගෙන් හිස්වන ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් අසිත සහ කසුන් රාජිත අතර හොඳ සටනක් නිර්මාණය වී තිබෙනවා.

අශේන් ඩැනියල් (මහනුවර)

21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ඩැනියල් ඉනිම් 7ක දී කඩුලු 16ක් දවා ගත්තේ පන්දුවාර 152කුත් එක් පන්දුවක් ක්‍රියාත්මක කරමින්. මහනුවර කණ්ඩායම ශූරතාවය දක්වා ගිය ගමනේ දී අසිත වේගපන්දුවෙන් හොඳම දස්කම් දක්වද්දී, එහි දඟපන්දුවේ ආධිපත්‍ය ලබා ගත්තේ ඩැනියල් විසින්. ලකුණු 75කට කඩුලු 5ක් දවා ගැනීමේ ඩැනියල් මේ තරගාවලියේ ඉනිමක දැක්වූ හොඳම දස්කමයි.

චානක රුවන්සිරි (ගාල්ල)

දකුණතින් පිට දඟපන්දු යවන 32 හැවිරිදි චානක රුවන්සිරි ඉනිම් 8ක දී කඩුලු 15ක් දවාගෙන මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි තැන දිනා ගත්තා. ඊට අමතරව කොළඹ කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන 22 හැවිරිදි ලක්ෂිත මණසිංහ ද ඉනිම් 8ක දී කඩුලු 15ක් දවා ගත්තා.

නමුත් ඔවුන් දෙදෙනා අතරින් හොඳ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබුණේ රුවන්සිරියි. රුවන්සිරි රඳවා ගෙන සිටි කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් 24.86ක් වන අතර ලකුණු 62කට කඩුලු 4ක් දවා ගැනීම ඉනිමක ඔහු දක්වා තිබූ හොඳම දස්කමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<