NSL අවසන් මහා සටන තුන්කොන් සටනක්

Dialog-SLC නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

924

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය බවට පත්ව තිබෙන Dialog-SLC නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය උදා වෙත්ම අවසන් මහා තරග සඳහා යාපනය, ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.

දැනට තරගාවලියේ තරග ජයග්‍රහණ 5ක් වාර්තා කර ගනිමින් ප්‍රසාද ලකුණු 26ක් ලබාගෙන සිටින මහනුවර කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත මෙහි අවසන් මහ තරගය සඳහා දැනටමත් අවස්ථාව උදාකරගෙන සිටින නමුත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිත තරග දෙකේ දී තීරණය වනු ඇත.

එදින මහනුවර සහ ගාල්ල කණ්ඩායම් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී ද, යාපනය සහ කොළඹ කණ්ඩායම් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ද තරග වැදීමට නියමිතයි. එම තරග අතරින් යාපනය ජය වාර්තා කර ගැනීමට සමත් වුවහොත් සෙසු තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඔවුන් කිසිදු බාධාවකින් තොරව අවසන් මහ තරග සටනේ මහනුවර කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වෙනවා.

කෙසේ නමුත් ගැටලුව බවට පත්ව තිබෙන්නේ මේ දිනවල දඹුල්ල අවට ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාවයි. එම තත්ත්වය නිසා ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල මහනුවර අතර තරගය එකම පන්දුවක් නොයවා අත්හැර දැමීමට සිදු වුනා.

මෙම තත්ත්වය 16 වැනිදා තරගයට ද බාධාවක් වුවහොත් තත්ත්වය වඩාත් සංකීර්ණ වනු නිසැකයි. යම් හෙයකින් එසේ වුවහොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 2 බැගින් පිරිනැමෙන අතර යාපනය කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යනවා.

ඒ අනුව එදින පැවැත්වීමට නියමිත ගාල්ල සහ මහනුවර අතර තරගයෙන් මහනුවර ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුවහොත් යාපනයට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන නමුත්, තරග 7ක දී ජයග්‍රහණ 4ක් වාර්තා කරගෙන සිටින ගාල්ල එම තරගය ජය ගතහොත් බෝනස් ලකුණු රහිතව වුවද ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ යනවා. එය එසේ සිදු වුවහොත් අවසන් මහා තරගය මහනුවර සහ ගාල්ල අතර තරගයක් බවට පත්වනු ඇත.

කොළඹ දෙස අවධානය යොමු කිරීමේ දී ද යාපනය තරගය බෝනස් ප්‍රසාද ලකුණ ද සමඟ ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වී, පල්ලකැලේ පැවැත්වීමට නියමිත ගාල්ල සහ මහනුවර අතර තරගයෙන් මහනුවර ජය ගතහොත් කොළඹට ද අවසන් මහා තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය වීමට හැකි වෙනවා.

මෙකී තත්ත්වය යටතේ කොළඹ බෝනස් ප්‍රසාද ලකුණ නොමැතිව තරගය ජය ගනු ලැබුවහොත් යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18 බැගින් සම තත්ත්වයට පත් වෙනවා. එසේ වුවහොත් ඉදිරියට යනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇත.

මේ තරගාවලියේ 19 වැනි තරගය මේ මස 16 වැනිදා මහනුවර සහ ගාල්ල අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් මහා තරගය මේ මස 19 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙස එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

පසුගිය ජනවාරි 24 වැනිදා සිට මේ Dialog-SLC නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග සජීව ලෙස ඔබ වෙතට සමීප කළ ThePapare.com, මූලික වටයේ 19 වැනි තරගය සහ තීරණාත්මක අවසන් මහා තරගය ද සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

තරගාවලියේ දැනට ප්‍රසාද ලකුණු සටහන මෙසේයි

TEAMS M W L NR PT NRR
මහනුවර (Q) 7 5 1 1 26 1.455
යාපනය 7 4 3 0 18 0.514
ගාල්ල 7 4 3 0 17 -0.438
කොළඹ 7 3 4 0 14 0.482
දඹුල්ල 8 1 6 1 7 -1.827

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<