4x100m සහය දිවීමේ ශූරතා බස්නාහිරට සහ සබරගමුවට

760

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරග අද (26) දිනයේ දී දෙවන දිනටත් මේ වන විට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.   

සුගන්ධි අභිබවා අංජනි රන් දිනයි; RMSගෙන් ජාතික ශූරයාට අභියෝගයක්!

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය…

අද දිනය ආරම්භයේ දී පැවති වැහි වළාකුළු සහිත අඳුරු කාලගුණ තත්වය හේතුවෙන් උදෑසන වරුව පුරාවට මද වර්ෂාපතනයක් පැවතියත් ඉන් පැවති තරග ඉසව් වලට ප්‍රබල බාධාවක් එල්ල නොවූ අතර සවස් වරුවේ දී වර්ෂාව පහව යාමත් සමඟ තරග ඉසව් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි විය. කෙසේ නමුත් ඊයේ ධාවන පථය සහ ක්‍රීඩාංගණය තුළ පැවති තෙත බරිත මඩ සහිත ස්වභාවය ඒ ආකාරයටම අද දිනය පුරාවට ද දැකගත හැකි විය.    

අද දිනය පුරාවට ද තීරණාත්මක අවසන් මහා තරග කිහිපයක් මෙන්ම තවත් මූලික වටයේ තරග ඉසව් කිහිපයක් ම පවත්වන ලදි.

එහි දී පැවති තරග ඉසව් අතරින් කාගේත් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ තරග ඉසව් ද්විත්වය වූයේ සවස් වරුවේ දී පවත්වනු ලැබූ 4x100m කාන්තා හා පිරිමි සහය දිවීමේ අවසන් මහා තරග ඉසව් ය.

එහි දී දැඩි අභියෝගයකින් තොරව 4x100m පිරිමි සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ආරම්භයේ සිට ම ප්‍රබල ධාවනයක් දියත් කළ සබරගමුව පළාත් කණ්ඩායමයි.

පිළිවෙළින් සුරාජ් දිනූෂ, මලින් උදයකුමාර, දිමුතු කුමාර සහ චමෝද් යෝදසිංහ යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ සබරගමුව පළාත් කණ්ඩායම එම ඉසව්ව අවසන් කිරීම සඳහා ගත කළ කාලය තත්පර 41.77කි. එහි රිදී පදක්කම තත්පර 42.55ක කාලයක් සටහන් කරගත් නැගෙනහිර පළාත් කණ්ඩායම විසින් ද, ලෝකඩ පදක්කම තත්පර 43.17ක කාලයක් වාර්තා කර ගත් බස්නාහිර පළාත් කණ්ඩායම විසින් ද දිනා ගනු ලැබූහ.

4x100m කාන්තා සහය දිවීමේ ඉසව්වේ ආරම්භයේ සිටම සිය අණසක පතුරුවා ගත් බස්නාහිර පළාත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තත්පර 48.41ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව අවසන් කරමින් කිසිදු අභියෝගයකින් තොරව එහි රන් පදක්කම තහවුරු කරගැනීමට සමත් විය.

පිළිවෙළින් තරින්දි හේෂානි, සදීපා හෙන්ඩර්සන්, හර්ෂණී ජයකාන්ත සහ ලක්‍ෂිකා සුගන්ධි යන ක්‍රීඩිකාවන්ගෙන් එම කණ්ඩායම සමන්විත විය. කෙසේ නමුත් එහි දෙවන ස්ථානය සඳහා දකුණු පළාත් කණ්ඩායම සහ මධ්‍යම පළාත් කණ්ඩායම අතර පැවති ඉතා උණුසුම් තරගය අවසානයේ එහි රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූයේ තත්පර 49.88ක කාලයක් වාර්තා කරගත් දකුණු පළාත් කණ්ඩායම යි. ඒ අනුව තත්පර 49.89ක කාලයක් සටහන් කරගත් මධ්‍යම පළාත් කණ්ඩායමට එහි ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

උදෑසන වරුවේ පැවති මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වූ රුසිරු චතුරංග සමත් විය. ඒ මිනිත්තු 1:53.34ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව අවසන් කරමිනි. එහි රිදී පදක්කම මිනිත්තු 1:54.16ක කාලයක් වාර්තා කර ගත් ඌව පළාතේ සී. අරවින්දන් විසින් ද, ලෝකඩ පදක්කම මිනිත්තු 1:54.83ක කාලයක් වාර්තා කර ගත් මධ්‍යම පළාතේ එස්. ටී. බුළුගහපිටිය විසින් ද දිනා ගැනීමට සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් තරග කාලසටහනේ වෙනසක්

ක්‍රීඩා ඉසව් මෙන්ම මලල ක්‍රීඩා ඉසව් ද රැසක් එක්කොට පවත්වනු ලබන දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල ලෙස…

මීටර 800 කාන්තා ධාවන ඉසව්ව එතරම් අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළ මධ්‍යම පළාතේ දිල්ෂි කුමාරසිංහ විසින් මිනිත්තු 2:10.26ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව අවසන් කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් මිනිත්තු 2:11.14ක කාලයක් වාර්තා කර ගත් දකුණු පළාතේ ඊ. ආර්. දුලක්ෂි ද, මිනිත්තු 2. 11.85ක කාලයක් වාර්තා කර ගත් වයඹ පළාතේ එම්. සී. දිල්රුක්‍ෂි ද දිනා ගනු ලැබූහ.

දිනය ආරම්භ කරමින් පැවති පිරිමි රිටි පැනීමේ තරග ඉසව්වේ රන් පදක්කම මීටර 4.50ක දක්‍ෂතාවයක් සටහන් කර ගත් බස්නාහිර පළාතේ එරංග ජනිත් විසින් දිනා ගනු ලබද්දී, පිරිමි යගුලිය දැමීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර 15.44ක දක්‍ෂතාවයක් සටහන් කර ගත් බස්නාහිර පළාතේම සමිත ප්‍රනාන්දු විසිනි.

තවදුරටත් කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම මීටර 40.88ක දක්‍ෂතාවයක් වාර්තා කර ගත් බස්නාහිර පළාතේම ඒ. අයි. මදුරංගි විසින් ද, කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම මීටර 12.62ක දක්‍ෂතාවයක් වාර්තා කර ගත් වයඹ පළාතේ හෂිනි ප්‍රබෝධා විසින් ද දිනා ගැනීමට සමත් වූහ. තවදුරටත් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම මීටර 46.66ක දක්‍ෂතාවයක් සටහන් කරගත් එන්. ඩී. ලේකම්ගේ විසින් දිනා ගන්නා ලදි.  

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී ආරම්භ වීමට නියමිත ලෝක හමුදා ක්‍රීඩා තරගාවලිය…

දිනය අවසන් කරමින් පැවති පාපන්දු පිරිමි අවසන් මහා තරගයේ ශූරතාව දකුණු පළාත් කණ්ඩායම ගෝල 0-4ක් වශයෙන් පරාජයට පත්කළ උතුරු පළාත් කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.

තරගාවලියේ තෙවැනි හා අවසාන දිනය හෙටයි (28).   

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ ද සියලුම තොරතුරු, පුවත්, ඡායාරූප, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග සඳහා රැඳී සිටින්න ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<