මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 3 සහ 11 අතර

353
National Sports festival 2016

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල හෙවත් 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල, සැප්තැම්බර් 3 සහ 11 අතර කාලයේ යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට කටයුතු යොදන බව, ඒ සම්බන්ධයෙන් යටිතලය සොයාබැලීම පිණිස ගොස්‌ සිටින ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්‌. රුවන්චන්ද්‍ර ‘දිවයින’ කළ විමසුමකට යාපනයේ සිට පිළිතුරු ලබාදුන්නේය.

මේ වන විට පෙනී යන අන්දමට 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සහ තවත් ක්‍රීඩා 9ක්‌ යාපනයේ පැවැත්වීමට හැකියාව ඇතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා නිලධාරීන් විසින් ගෙනගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉකුත් වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල සාමාන්‍ය වශයෙන් එය පවත්වා අවසන්වන කාලසීමාවෙන් මාස කිහිපයක ප්‍රමාදයකින් යුතුව පැවැත්වීමට සිදුවුවත්, මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල, එහි බලපෑමෙන් තොරව සුපුරුදු කාලවකවානුවේදී පැවැත්වීමට හැකිවෙතැයි බලධාරීහු බලාපොරොත්තු පළ කර සිටිති. සිය වැටුප් විෂමතාවය ප්‍රධාන කොට ක්‍රීඩා නිලධාරීන් විසින් සිදුකළ වර්ජන ආදියට මේ වන විට සතුටුදායක පිළිතුරු ලැබී ඇති බැවින් සියලු දෙනාගේ සහයෝගය නොඅඩුව ලබාගනිමින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සාර්ථක කරගැනීමට හැකිවෙතැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂජනරාල්වරයා සිය විශ්වාසය පළකර සිටියේය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික මට්‌ටමේ තරග ඇරඹමින් රට හරහා දිවීමේ තරගාවලිය මෙම 7 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට යෙදී තිබේ.

අන්තර් ක්‍රීඩා සමාජ හෙවත් කොට්‌ඨාශ මට්‌ටම, අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ තරග හෙවත් දිස්‌ත්‍රික්‌ මට්‌ටම සහ අන්තර් දිස්‌ත්‍රික්‌ තරග හෙවත් පළාත් මට්‌ටම ලෙසින් මූලික අදියර තුනකින් යුතුව තරග පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කොට්‌ඨාශ තරග මෙම 28 වැනිදා අවසන් වීමට නියමිත අතර දිස්‌ත්‍රික්‌ තරග මැයි 28 සිට ඇරඹීමට නියමිතව තිබේ.