වසර අවසානයේ ජාතික මලල ක්‍රීඩා තරගාවලියක්

134

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙරට පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා තරගාවලි රැසක් ද කල් දැමීමට සිදු වූ අතර මේ වන විට තුන් මසකට ආසන්න කාලයක් මුළුල්ලෙ මලල ක්‍රීඩාවට අදාළ සියලුම ක්‍රියාකාරකම් නතර වී ඇති නිසාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දැඩි අපහසුතාවට පත්ව ඇත.

>>ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව<<

පවතින තත්වය පිළිබඳව සහ මලල ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට ගත හැකි පියවර පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුකරු වයි. කේ. කුලරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, මලල ක්‍රීඩා සංගමය සහ මෙරට ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව මේ වන විටත් නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට හැකි පමණින් නිවෙස් තුල පුහුණුවීම් කටයුතු සිදු කරන බවත්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවතත් ක්‍රීඩා පිටියට ගෙන ඒමට විශාල සැලසුමක් මලල ක්‍රීඩා සංගමය විසින් සකස් කර ඇති බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි. කේ කුලරත්න මහතා

තවද මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද මලල ක්‍රීඩාව නැවත ක්‍රීඩා පිටියට ගෙන ඒම පිළිබඳව  පුහුණුකරු හා එක්ව කටයුතු කරමින් පුහුණුවීම් වලදී සිදු විය හැකි අවදානම් අවස්ථා අඩු කර ගැනීමේ අරමුණින් කෙටි දුර ධාවන සහ පැනීම් (Sprinters & Jumpers), මැදි දුර ධාවන (Middle-distance runners) සහ විසි කිරීම (Throwers) යනුවෙන් ක්‍රීඩකයින් කාණ්ඩ තුනකට බෙදා වෙන් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව කෙටි දුර ධාවන කාණ්ඩයට අයත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දියතලාව කේන්ද්‍ර කරගනිමින් සහ මැදි දුර ධාවන කාණ්ඩයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දියතලාව සහ බොරලන්ද කේන්ද්‍ර කරගනිමින් ද පැනීම් සහ විසි කිරීම් කාණ්ඩයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් කොළඹ ටොරින්ටන් පිටියේ ද පුහුණුවීම් සිදු කිරීමට නියමිතව ඇත.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා

පුහුණුවීම් කටයුතුවලට අමතරව මලල ක්‍රීඩා සංගමය විසින් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් නිර්මාණය කළ විශේෂිත සංචිතයට (Elite Pool) 2019 වසරේ දකුණු ආසියානු රන් පදක්කම්ලාභීන්ට අමතරව විදූෂා ලක්ෂානි, නදීෂා රාමනායක සහ අනතුරකට මුහුණ පෑම නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය මග හැරුණු නිමාලි ලියනආරච්චි ද ඇතුළත් කර ඇත.

තවද 2021 ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හට සූදානම් වීම සඳහා තරගාවලි නොමැති වීම පිළිබඳව කරුණාරත්න මහතා විසින් ජෙනරාල් ප්‍රනාන්දු මහතා වෙත දැනුවත් කර ඇති අතර, එයට විසඳුමක් වශයෙන් ක්‍රීඩකයන් සහ කරුණාරත්න මහතා විසින් මෙම වසර අවසානයේ ජාතික මට්ටමේ තරගාවලියක් පැවැත්වීමට යෝජනා කර ඇත. මලල ක්‍රීඩා සභාපතිවරයා ද එයට එකඟත්වය පලකර ඇත.

කෙසේ නමුත් මෙම තරගාවලිය සඳහා නිශ්චිත දිනයක් තවමත් තීරණය කර නොමැති අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එය පැවැත්වෙනු ඇතැයි ක්‍රීඩකයන් බලාපොරොත්තුවෙන් පසුවේ. මලල ක්‍රීඩා සංගමය විසින් ඒ සඳහා දින නියම කිරීමට කටයුතු කරමින් සිටින අතර ඒ සමඟින් ඔලිම්පික් තරගාවලිය සඳහා පුහුණු කාලසීමාවක් ආරම්භ කිරීමට ද අපේක්ෂා කරයි.

තවද ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම පිළිබඳව මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩකයන්ගේ යහපත ද සලකා බලමින් නිසි සැලැස්මක් සකස් කර අවසන් නමුත් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය බලාපොරොත්තුවෙන් පසුවෙන අතර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා අමාත්‍යාංශය ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට එකඟ වීමට ද මලල ක්‍රීඩා සංගමය සූදානමින් පසු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<