ලෝක කුසලානය ගැන මුරලිගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1818

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟපන්දු යවන ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත යැවූ තීරු ලිපියක් මඟින්.

මේ මුරලිදරන් විසින් යවා තිබූ ලිපියේ සිංහල පරිවර්තනයක්.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වය වෙන්නේ තරගාවලියේ වැඩි වාසි සහිත කණ්ඩායමක් නොමැති වීමයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන තරගාවලියට පැමිණෙන විට ඒ කණ්ඩායම් අතරින් කැපී පෙනෙන කණ්ඩායමක් නොමැති බවක් මට දැනෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කණ්ඩායම් විශාල සංඛ්‍යාවකට තරගාවලිය ජයග්‍රහණය කරන්න අවස්ථාවක් හිමිවෙනවා.

මම හිතන විදිහට තීරණාත්මක සාධකය වෙන්නේ පළමු පන්දුවාර හයයි. පන්දුවට පහර දීමේ දී හෝ පන්දු යැවීමේ දී කණ්ඩායම් මූලිකවම අවධානය යොමු කළ යුත්තේ එයට.  මම හිතන්නේ ක්‍රීඩාවෙන් 70% – 80% අතර ප්‍රමාණයක් රඳා පවතින්නේ එම පළමු පන්දුවාර හය මත. කණ්ඩායමක් එම කාලය තුළ කෙතරම් හොඳින් ක්‍රියා කළා ද යන්න තරගයේ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් එල්ල කරනවා.

ගොඩක් අය අවසාන පන්දුවාර දෙස බලනවා. ඇත්ත වශයෙන්ම ඒවාත් වැදගත්. නමුත් ආරම්භය නිවැරදිව කළේ නැත්නම් ඔබට එය අල්ලා ගැනීමට තියෙන්නේ සුළු කාලයයි. මේක එක්දින තරගයක් හෝ ටෙස්ට් තරගයක් වගේ නෙමෙයි. හොඳ ආරම්භයක් ලබා ගැනීම වැදගත්. ලෝක කුසලානය පුළුල් ලෙස විවෘතව ඇතැයි හිතෙන්නේ ඒ නිසා.

විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී දඟපන්දු යවන්නන් දායකත්වය දැක්කම මම පැහැදිලිවම සතුටු වෙනවා. මේ තරග රටාව වේගවත් තරග රටාවක්. සාමාන්‍යයෙන් එය පිතිකරුවෙකුගේ ක්‍රීඩාවක් ලෙස හඳුන්වනවා. නමුත් මෙම තරග රටාව එංගලන්තයේ ආරම්භ වෙලා වසර 18ක් තුළ පන්දු යවන්නන් ඒකට අනුවර්තනය වෙලා තියනවා. වේගපන්දු යවන්නන් මන්දගාමී පන්දු හෝ වේගය අඩාල කළ විවිධ පන්දු යවනවා. ක්‍රීඩකයන් දියුණු කර ගත යුතු කුසලතාවයන් ඒවායි.

මුලින් බොහෝ දෙනා සිතුවේ දඟපන්දු යවන්නන් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ගොදුරු වේවි කියලා. නමුත් පන්දු යවන්නන් මන්දගාමී පන්දු යැවීමේ දී පහර දීම වඩාත් අපහසු බව දැන් පැහැදිලි වෙනවා.  දඟ පන්දු යවන්නන් දැන් වැදගත්ම පන්දු යවන්නන් බවට පත්ව තිබෙනවා. වේගපන්දු යවන්නනට වුනත් මන්දගාමී පන්දු සහ වෙනත් පන්දු යැවීමට සිදුවෙනවා. ඒ පන්දුව පිත්තට පැමිණීම හැකිතාක් දුරට වළක්වා ගැනීමට අවශ්‍ය නිසා. එහි පරමාර්ථය වෙන්නේ පන්දුවට පහර දීමට හා අවදානම් ගැනීමට පිතිකරුවාට බල කිරීමයි.

විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු වශයෙන් සහ උපදේශකයෙකු වශයෙන් මගේ අත්දැකීම නම් විස්සයි විස්ස පන්දු යවන්නන් ආරක්ෂාකාරී මානසිකත්වයකින් යුතුව තරගයට පිවිසෙන්න ඕනේ. එක්දින හෝ ටෙස්ට් තරගවල දී ඉලක්කය වෙන්නේ කඩුලු ලබා ගැනීමයි. විස්සයි විස්ස තරගවල දී ඔබ ඕවරයකට ලකුණු 6ක් හෝ 6.5ක් ලබා දීම ඉලක්ක කර ගත යුතු වෙනවා. ඔබට එය කළමනාකරණය කර ගත හැකි නම් ඔබට කඩුලු කිහිපයක් ලබා ගන්න හැකියාවක් තියනවා.

සමහර විට විස්සයි විස්ස තරගවල දී දඟපන්දු යවන්නෙකුට ටෙස්ට් තරගයක පන්දු යවන ආකාරයට පන්දු යැවීම ගැළපෙන්නේ නැහැ. එබැවින් පිතිකරුවා කරන්නේ කුමක්දැයි පන්දු යවන්නන් අවබෝධ කරගන්න ඕනේ. ඒ අනුව full පන්දුවක් හෝ කෙටි පන්දුවක් යවන්න ඕනේ. සමහර විට ඉතා කෙටිපන්දු යවන්න වෙන්න පුළුවන්. සමහර විට එය ශරීරය ඉලක්ක කර ගෙන යවන්න ඕනේ. තරගයේ ස්වභාවය අනුව ඔබ එය වෙනස් කරන්න ඕනේ. පන්දු යවන්නෙක් විදිහට ඔබට පාලනයක් තියෙන්නෙ ඕනේ. ඔබට එය කළ හැකි නම් ඔබ ඉතා සාර්ථක වෙනවා.

මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටියේ. මේ තණතීරු දෙස බලන විට ලෝක කුසලාන තරගාවලියේ දී දඟපන්දු යවන්නන්ට විශාල කාර්යභාරයක් පැවරීමට නියමිත බව පැහැදිලියි. එය බොහෝ දුරට රඳා පවතින්නේ තණතීරුව සකස් කර ඇති ආකාරය මතයි. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල පිතිකරුවන්ට දක්ෂතා දැක්වීම දුෂ්කර වුනා. මේ තරගාවලිය අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් තරගාවලියක්. දඟ පන්දු යවන්නන් ප්‍රධාන වන බව ඒකෙන් පේනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෘෂ්ඨි කෝණයකින් බලන විට කණ්ඩායමට පළමු වටයේ දී සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කරන්න සිදු වෙලා තියනවා. පසුගිය වසර පහ හය තුළ කණ්ඩායම පහත වැටිලා තියනවා. අපේ කණ්ඩායමට මේ වගේ දෙයක් වුනේ ඉතිහාසයේ පළමු වතාවටයි.

අවංකවම කියනවා නම්, අපේ දක්ෂතා ප්‍රමාණවත් වුනේ නැහැ. අපේ ක්‍රීඩාව යම් මට්ටමක නැති නිසා අපි මේ තත්ත්වයට පත්වෙලා තියනවා. නමුත් කණ්ඩායමට සුපිරි 12 වටය දක්වා ළඟා වෙන්න සහ තරගාවලිය තුල වෙනසක් කරන්න ලොකු හැකියාවක් තියනවා. නමුත් පළමුව ඔවුන් සුදුසුකම් ලබාගන්න ඕනේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ඉතා හොඳයි. නමුත් පිතිකරණය තරමක් දුර්වලයි. ඔවුන්ට පියවරක් ඉදිරියට අරන් හොඳ ලකුණු ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් නම් පන්දු යවන්නන්ට ඔවුන්ව ආරක්ෂා කරන්න පුළුවන්.  ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ වටයට සුදුසුකම් ලබාගත්තොත් කණ්ඩායම් කිහිපයකටම ලොකු අභියෝගයක් එල්ල කරන්න පුළුවන් කියලා මම හිතනවා.

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහ සෑම කෙනෙකුටම මම දෙන අවවාදය නම් ඕනෑවට වඩා හිතන්න එපා. විශේෂයෙන් පන්දු යවන්නන් ගැන. ඔබට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ නම් ගැන අවධානය යොමු කරන්න එපා. එල්ල වෙන පීඩනය ගැන කරදර නොවී එය අභියෝගය බාරගන්න උත්සාහ කරන්න ඕනේ. විස්සයි විස්ස ක්‍රිකට් කියන්නේ ඒකට.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<