දින 5ක් හෝටල් කාමරය තුල සිර වී සිටි Mustafizur කළ හෙළිදරව්ව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

136

ජෛව ආරක්ෂිත බුබුළු තුල කාලය ගත කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලීම බාහිරින් පෙනෙනවාට වඩා ඉතාමත් වෙහෙසකර අත්දැකීමක් බව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman පසුගිය දා සඳහන්කොට තිබුණේ Cricbuzz වෙබ් පිටුව සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් 2021 IPL තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තරගාවලි සංවිධායක කමිටුව පියවර ගනු ලැබුවේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තරමක අභියෝගාත්මක කර්ත්‍යවයක් වීමට  පටන් ගැනීමත් සමඟිනි. ඒ අනුව ඉන්දියාවේ සිට නැවත තම මව්රට වෙත පැමිණ සිටින Mustafizur හට නිරෝධායන කාලසීමාවකට යටත්ව සිටීමට මේ වන විට සිදුව තිබේ.

IPL, අන්තර්ජාතික කුමන හෝ තරගාවලියක් සඳහා සහභාගී වීමේ දී මෙවැනි සීමා පැනවුනු වටපිටාවක සිට තරග වැඳීමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයෙකු හට කායිකව මෙන්ම මානසිකව ද විශාල  අභියෝගයක් විය හැකි බව සඳහන් කර සිටින Mustafizur පවසා සිටියේ අනෙක් කණ්ඩායම්වල ඇතැම් ක්‍රීඩකයින් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමඟ දින පහක වැනි කාලයක් හෝටල් කාමරයෙන් පවා පිටතට ඒමට තමන්ට අවසර නොලැබුණු බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“ඇත්තටම ඒ සම්පූර්ණ ක්‍රියාවලියම ඉතාමත් වෙහෙසකරයි. ක්‍රීඩා පිටියෙන් හෝටල් කාමරයට අයිත් හෝටල් කාමරයෙන් ක්‍රීඩා පිටියට. කොච්චර කාලයක් කියලා අපි එහෙම කරන්න ද? සෑහෙන්න ඒකාකාරී කාලසටහනකට අනුව තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් දැන් තියෙන තත්වයන් සලකලා බැලුවම ඒ දේවල් පිළිපදින එක තමයි වඩාත් ආරක්ෂිත.”

“අපි අනෙක් මඟීන් ගමන් ගන්න විදියට නෙමෙයි ගමන් බිමන් සිදු කළේ. එක කණ්ඩායමක ක්‍රීඩකයෙක් ආසාදිතයෙක් කියලා අඳුන ගත්ත ක්ෂණයෙන් අපිට සිද්ධ වුනා දවස් පහක් විතර හෝටල් කාමරය ඇතුලටම වෙලා ඉන්න. පසුව තමයි අපිටම වෙන් වුන ගුවන් යානයකින් ආයිත් බංග්ලාදේශයට එන්න පුළුවන්කම ලැබුණේ.”

 Shakib Ul Hasan සහ Mustafizur Rahman විශේෂ ගුවන් යානයක් මඟින් නැවතත් ඔවුන්ගේ මව්රට බලා පිටත් කර හැරීමට IPL තරගාවලි සංවිධායක කමිටුව අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කොට තිබූ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයත් සමඟ එක්වීමේ සූදානමින් පසුවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<