ක්‍රීඩාංගණයේ දුම් පානය කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයාට වැඩ වරදියි

5616

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දුම් පානය කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Mohammad Shahzad හට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊයේ (04) Shere Bangla ජාතික ක්‍රීඩාංගණයේ දී මෙලෙස Mohammad Shahzad විසින් දුම් පානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට තරග නිලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා.

Shahzadගේ ක්‍රියාව ‘ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන’ ක්‍රියාවක් ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා. ඒ අනුව Mohammad Shahzad බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝණය කර තිබෙන බව එරට ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් Shahzadගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් ද එකතු කර තිබුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ තරග දෙකක්‌ පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ Minister Group Dhaka සහ Comilla Victorians අතර තරගය සහ Sylhet Sunrisers සහ Fortune Barishal අතර තරගයි.

මෙම තරග දෙක සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ අතර එම කණ්ඩායම්වල ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයේ රැඳී සිට තිබෙනවා. එහි දී Mohammad Shahzad ද ඒ අතර සිට ඇති අතර ඔහු දුම් පානය කරන ආකාරය බලධාරීන් විසින් දැක තිබෙනවා.

ඊයේ පැවති තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු නමුත් කතාබහට ලක්වූ කරුණ වූයේ Mohammad Shahzad ක්‍රීඩාංගණය තුළ දුම් පානය කරමින් නීති කඩ කළ ආකාරයයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව Mohammad Shahzad වරද පිළිගෙන තිබුණා. ඒ අනුව පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Neeyamur Rashid විසින් පනවා තිබූ දඬුවම් සඳහා ද Shahzad එකඟ වී තිබුණා. මේ නිසා විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබුණා.

Shahzad ක්‍රීඩාංගණය තුළ දී තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසල සිටිමින් දුම් පානය කරන ආකාරය මාධ්‍ය කිහිපයක් විසින් ප්‍රචාරය කර තිබුණා. ක්‍රීඩාංගණය තුළ දී දුම් පානය නොකරන ලෙස Shahzad හට මුලින්ම Minister Group Dhaka පුහුණුකරු වන Mizanur Rahman විසින් අවවාද කර තිබුණා. ඉන් අනතුරුව Tamim Iqbal විසින් ඔහුට එළියේ නිරාවරණය වෙමින් දුම් පානය නොකරන ලෙස පවසා තිබුණා.

Mohammad Shahzad Minister Group Dhaka හි නිත්‍ය ක්‍රීඩකයෙකු වන අතර ඊයේ දවසේ තරගය අවලංගු වීමෙන් අනතුරුව Minister Group Dhaka කණ්ඩායම තරග 7ක දී ප්‍රසාද ලකුණු 7ක් හිමි කරගෙන ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<