කොරෝනා බියෙන් එංගලන්ත – දකුණු අප්‍රිකා සංචාරය අහෝසි

650
England vs South Africa

එංගලන්ත සංචිතයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ලැබුණු තහවුරු නොකළ වාර්තාවක් හේතුවෙන් එංගලන්ත දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අවලංගු කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

මෙලෙස කොරෝනා වයිරසය ආරාධනය වී ඇති බවට ලැබුණු වාර්තාවත් සමඟින් පසුගිය ඉරිදා (06) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය අවලංගු කරන බව එදින උදෑසන තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර එම ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළේය. 

මෙම සිදුවීමත් සමඟින් එංගලන්ත කණ්ඩායම සහ එහි නිලධාරීන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ක්‍රිකට් ආයතනය තහවුරු කළ අතර තරගාවලියේ සෙසු තරග සැලසුම් කර ඇති පරිදි පවත්වන්නේ දැයි ඒ වන විට තීරණය කර තිබුණේ නැත.

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාලව පළමු එක්දින තරගය පසුගිය 04 වැනිදා කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට පැයක පමණ කාලයක් ඉතිරිව තිබිය දී තරගය අවලංගු කිරීමට තීරණය කරන ලදි. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟිනි. ඒ අනුව තරගය 06 වැනි ඉරිදා දක්වා කල්දැමීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ 06 වැනි ඉරිදා උදෑසන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ කණ්ඩායම් රැඳී සිටින හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බැවින් තරගය ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වනු ඇති බවයි. 

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් නැවතත් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර තරගය ප්‍රමාද වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව තවත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතන පවසා සිටියේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකල” වාර්තාවක් ලැබී ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මෙම තරගය අවලංගු කිරීමටත් සෙසු තරග පිළිබඳව පසුව තීරණය කිරීමට නියමිත බවත් ඔවුන් පවසා තිබුණි.

මෙම එක්දින තරගාවලියේ සෙසු තරග 07 වැනි සඳුදා සහ 09 වැනි බදාදා පැවැත්වීමට නියමිතව තිබූ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එම තරග පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකි බවට පවසා සිටිය ද, විදෙස් මාධ්‍ය වාර්තා කළේ තරගාවලිය තවදුරටත් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි. ඒ එංගලන්ත කණ්ඩායම 10 වැනි බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාවෙන් පිටත් වීමට නියමිත බැවිනි.

මේ පිළිබඳව වාර්තා කරමින් ESPNcricinfo වෙබ් අඩවිය පවසා සිටියේ කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වාර්තා වූ එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනා තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත්, එම පරීක්ෂණවල නිරවද්‍යතාව තහවුරු කරගැනීමට තවත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත්ය.

තවත් ක්‍රිකට් පුවත්: 

තරගාවලිය පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ හිටපු ක්‍රීඩක Graeme Smith අදහස් දක්වා තිබුණි

“අපි ගොඩක් කනගාටුවට පත්වෙනවා මේ ඇතිවුන තත්ත්වය ගැන. අපි මේ තරගාවලිය පවත්වන්න ගොඩක් මහන්සි වුනා. ගොඩක් කාලය සහ ශ්‍රමය වැය කළා. අපි මේ වෙලාවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය එක්ක සමීපව කටයුතු කරමින් ඉන්නවා අපේ වෛද්‍ය කණ්ඩායම් එක්ක මේ ඇතිවෙලා තියන තත්ත්වය පාලනය කරගන්න.” 

තත්ත්වය පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Ashley Giles ද අදහස් දක්වා තිබුණි.

“අපි ඇත්තෙන්ම කනගාටු වෙනවා අද තරගය ක්‍රීඩා කරන්න බැරි වීම ගැන. ඒත් අපේ ක්‍රීඩකයන්ගේ සහ සෙසු නිලධාරීන් ගේ සෞඛ්‍ය තමයි වැදගත්ම දේ. අපි මේ වෙලාවේ බලාගෙන ඉන්නවා මේ වෛද්‍ය කණ්ඩායම් නැවත වරක් ක්‍රීඩකයන් පරීක්ෂා කරලා ඔවුන්ගේ තීරණය දැනුම් දෙනතුරු. තත්ත්වය තහවුරු කරනතුරු තරගාවලිය පවත්වන්න හැකියාවක් නැහැ. මේ තත්ත්වය එක්ක ඉදිරි වැඩකටයුතු කරන ආකාරය ගැන අපි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එක්ක සමීපව කටයුතු කරනවා.” 

මෙම සිදුවීම එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය තුල කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වූ සිව්වැනි සිදුවීම වීම විශේෂත්වයකි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය සඳහා වන ජෛව ආරක්‍ෂිත වටපිටාව තුලට ඇතුළු වීමට පෙර එම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඉන් අනතුරුව ඔහු සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

ඊට දින දෙකකට පසුව ජෛව ආරක්ෂක වටපිටාව තුල දී තවත් ක්‍රීඩකයෙකුට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර ඒ වන විට ඔහු කණ්ඩායම සමඟින් සමීපව කටයුතු කර තිබුණි. ඒ අනුව සෙසු ක්‍රීඩකයන් නැවතත් පරීක්ෂාවට ලක් කර තිබුණි.

ඉන් අනතුරුව එක්දින තරගාවලියට පෙර තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. ඒ අනුව තරගාවලිය කල්දැමුනු අතර පසුව මෙලෙස හෝටල් සේවකයන් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබුණි. 

කණ්ඩායම් හෝටලය තුල රැඳී සිටි කාලය තුල කිසිදු සේවකයෙකු හෝටලයෙන් පිටතට ගොස් නොමැති බවට හෝටල් බලධාරීන් විසින් තහවුරු කර ඇත. ඒ අනුව මෙම කොරෝනා වයිරසය පැතිරයාම ආරම්භ වූ ආකාරය පිළිබඳව තවමත් සොයාගැනීමට හැකිව නැත. 

එංගලන්තයට පසුව ශ්‍රී ලංකාව මෙම මාසයේ දී දකුණු අප්‍රිකාවට යාමට නියමිත අතර ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානයේ ද සංචාර සඳහා සහභාගී වීමට නියමිතව ඇත. එහෙත් මෙවන් වටපිටාවක් තුල දකුණු අප්‍රිකාවේ ජෛව ආරක්ෂක බුබුළු පිළිබඳව දැඩි අවදානමක් ඇතිවී තිබේ. 

ESPNcricinfo සහ විදෙස් මාධ්‍ය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<