ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් ශේශාඩ්ගේ තීන්දුව ලබා දෙයි

3190

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් ශේශාඩ් හට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල වසරක තරග තහනමක් ලබා දීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඊයේ (18) තීරණය කර ඇත.

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය…

මොහොමඩ් ශේශාඩ් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් නොකර විදෙස් රටක් සඳහා සංචාරය කිරීම නිසා පසුගිය 10 වැනිදා ඔහුගේ කොන්ත්‍රාත්තුව තාවකාලිකව තහනම් කළ අතර ඉන්පසුව පැවැත්වුණු විනය පරීක්ෂණයකින් අනතුරුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් මේ තීරණය ලබාගෙන තිබේ.

“ශේශාඩ් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් අපිට නොදන්වා විදේශ ගත වෙලා තියෙනවා. මේක ඔහු විසින් අපේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කරපු පළමු වතාව නෙමෙයි. නමුත් අපේ කොන්ත්‍රාත්ගත වෙලා ඉන්න ඕනෑම ක්‍රීඩකයෙක් විදේශගත වෙනවා නම් ඊට පෙර අපෙන් අවසරයක් ගන්න ඕන.” යැයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

“ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය සියලුම පහසුකම් අපේ රට තුල තියෙනවා, ඒකට අපේ කිසිම ක්‍රීඩකයෙක් විදේශ ගත විය යුතු නැහැ” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

මීට අමතරව, පසුගිය දා නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල දී සිදු වුනා යැයි පැවසෙන විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ජූලි 20 සහ 25 යන දිනවල ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය කමිටුව හමුවීමට ශේශාඩ්ව කැඳවා තිබූ බවත්, එහි දී ඔහු විසින් සිය නිරවද්‍යතාවය පෙන්වීමට අපොහොසත් වී ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ් ශේශාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව ජුනි මස 7 වැනිදා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කළ අතර ඔහු වෙනුවෙන් ඉක්‍රම් අලි ඛිල්ව ආදේශ කිරීමට තීරණය කරන ලදි.

ශේශාඩ්ව එලෙස තරගාවලියෙන් ඉවත් කළේ ඔහුගේ දණ හිස ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසාවෙනි. කෙසේ නමුත් එම සිදුවීමට දින කිහිපයකට පසුව තමන් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන ඉතාමත් සුවෙන් සිටින බවත්, තමන් හට කිසිදු ආබාධයක් නොමැති බවත්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුව කිසිදු පරීක්ෂණයක් සඳහා යොමු නොකළ බවත් මොහොමඩ් ශේශාඩ් පවසා තිබෙන බව ඇෆ්ගනිස්ථානයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් වන මොහොමඩ් ඊබ්‍රහයිම් මොමන්ඩ් සිය නිල Twitter ගිණුමේ පළ කොට තිබුණි. නමුත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි අසදුල්ලා ඛාන් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<