හේතුවක්‌ නැතිව දෝනි හැළෙයි

130

හදිසියේම යෙදුණු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත පළමු එක්‌දින තරග 3 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්‌ඩායමෙන් නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර්ව ඉවත් කර තිබේ.

නම් කරන ලද කණ්‌ඩායම මාධ්‍ය වෙත මුදා හැරීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගත්තද මොවුන් දෙදෙනාව කණ්‌ඩායමට ඇතුළත් නොකරන ලද්දේ විවේක ගැන්වීමේ පදනම මතද එසේත් නැතහොත් ආබාධිත තත්ත්වයකටද යන්න සඳහන් නොකිරීම විශේෂත්වයක්‌ වේ./p>

ඒ අනුව ඉන්දීය කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම ඉදිරි පෙළ පිතිකරු විරාත් කෝලිට පැවැරී තිබෙන අතර දෝනි ඇතුළත් නොවීම මත හිස්‌වන කඩුලු රැකීමේ ස්‌ථානය සඳහා අයි. පි. එල්. තරගාවලියේදී දක්‍ෂතා දක්‌වන ලද ක්‍රීඩකයකු වන විරිධිමාන් සහාව එක්‌ කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ එරට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය අතර ඇතිවී තිබෙන විරසකයක්‌ හේතුවෙන් ඉන්දීය සංචාරය වර්ජනය කරමින් සිය මව්බිම කරා යැමට කොදෙව් ක්‍රීඩකයන් පියවර ගැනීම මත ශ්‍රී ලංකාව සමග එක්‌දින තරග 5 කට ක්‍රීඩා කිරීමට ඉන්දියාව තීරණය කරනු ලැබීය.

නම් කරන ලද කණ්‌ඩායමෙන් ඉවත් කරන ලද බුවනේෂ්වර් කුමාර් වෙනුවට වරුන් ආරොන්ව කණ්‌ඩායමට කැඳවා තිබේ. මේ අතර කොදෙව් තරගාවලියේදී විවේක ගැන්වුණු ප්‍රධාන දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකාව සමග තරගාවලියට නම් කර තිබෙන එම තත්ත්වය මත වමත් දග පන්දු යවන කුල්දීප් යාදව්ට සිය ස්‌ථානය අහිමි වී තිබේ. 

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය කටක්‌, හයිද්‍රdබාද්, රාන්චි, අහමදාබාද් සහ කොල්කටා යන නගරවලදී පැවැත්වීමට මේ වන විට යෝජනා වී තිබේ.

නම් කරන ලද ඉන්දීය කණ්‌ඩායම / විරාත් කෝලි(නායක), ශෙකර් ධවාන්, අජින්ක්‍යා රහනේ, සුරේෂ් රයිනා, අම්බති රායිදු, විරිධිමාන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ශාමි, උමේෂ් යාදව්, ඉෂාන්ට්‌ ෂර්මා, අමිත් මිෂ්රා, මුරලි විඡේ, වරුන් ආරොන්, අක්‌ෂාර් පටෙල්.