මෝ ෆාරා හංසගීතයට සූදානමින්

International Athletics

193
Herald Scotland

දුර දිවීමේ රන් පදක්කම් රැසක හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය ජාතික මොහොමඩ් (මෝ) ෆාරා සිය දීප්තිමත් මලල ක්‍රීඩා දිවියට සමුදීමට සැරසෙතැයි වාර්තා වේ. ඔහු ඒ බව විවෘත කොට ඇත්තේ “ලන්ඩන් 10,000” තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමෙන් පසුව ය.

නිවැරදි ක්‍රමයට ශ්‍රීමත් මොහොමඩ් ෆාරා ලෙස නම් කළ යුතු ඔහු 2012 සහ 2016 ඔලිම්පික් උළෙල දෙකෙහිදීම මීටර 5,000 සහ 10,000 ඉසව් වල රන් පදක්කම් දිනා ගත්තේය.

පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ වරම් දිනා ගැනීමට අසමත් වූ ඔහු පසුගිය වසරේ ජුනි මාසයෙන් පසුව සහභාගී වූ පළමු ධාවන තරගය “ලන්ඩන් 10,000” තරගයයි.

39 හැවිරිදි ෆාරාව පසුකරමින් එහි දී ජය ලැබුවේ 26 හැවිරිදි එලිස් ක්‍රොස් ය. ඒ ෆාරාට වඩා තත්පර 4කින් ඉදිරියෙන් සිටිමිනි.

“මං හිතන්නේ මේක තමයි වෙලාව.” මෝ ෆාරා එසේ කියයි.

“ඔබේ ශරීරය සූදානම්ව තිබිය යුතුයි. ඔබ නිසි මානසික රාමුවේ ඉඳන් මොවුන් හා තරග කළ යුතුයි. මම ආදරෙයි ක්‍රීඩාවට සහ මම කළ දේට. මම දිගු ගමනක් ඇවිත් තිබෙනවා.” ඔහු වැඩිදුරටත් කිවේය.

“යතාර්ථයට අනුව ඒක ඉතාම ඉතාම දීර්ඝයි. මගේ ක්‍රීඩා ජිවිතේ පුරාම මම එච්චර කාලයක් ක්‍රීඩාවෙන් පිට ඉඳලා නෑ. අද ටිකක් අමාරු වුනා. එලිස් මාව පහුකරලා යන්න හොඳින් තරග කළා”, තරගයෙන් පසු ඔහු කීවේය.

එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට ඔහු සහභාගී නොවන බව ද ඔහු එහි දී සඳහන් කළේය.

“ලෝක ශූරතා තරගාවලිය මගේ පථයේ නෑ. මොකද මම එතන ඉඳලා වැඩේ කරලා තියෙනවා. අනිත් ක්‍රීඩකයන් එක්ක තරගයක් දෙන්න බැරි නම් අවංකව තීරණයක් ගන්න වෙනවා”, ෆාරා එසේ කීවේය.

කෙසේ වෙතත් ඔහු එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීවත් දකින්නට ලැබෙනු ඇතැයි බහුතර මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසයයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<