LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

741

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගවල දී LB ෆිනෑන්ස් කණ්ඩායම සහ කොමර්ෂල්  ක්‍රෙඩිට් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගවල ප්‍රතිවාදීන් වූයේ කැන්රිච් ෆිනෑන්ස් සහ හේලීස් කණ්ඩායම් ය.

විශ්වගේ අභියෝගයට අශේන් ප්‍රතිඋත්තර දෙයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (28) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු…

LB ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

මෙම තරගයේ දී කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට LB ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ LB ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිස කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 120ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රමෝද් මධුශාන් ය. ඔහු පන්දු 12කට මුහුණ දී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව මහේල විජයලත් ලකුණු 18ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 13කට කඩුලු 3ක් සහ ෂෙහාන් ජයසූරිය ලකුණු 23කට කඩුලු 3ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 121ක් ලබා ගත්හ. ඔවුන් තරගය අවසන් කරන විට තවත් ඉතිරිව පන්දු 28ක් තිබුණි.

එම ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 32ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 30කට මුහුණ දුන් හතරේ පහර 3ක් ඇතුලත් කළේය. නායක ලක්ෂාන් රොද්‍රිගෝ ලබා ගත් ලකුණු ප්‍රමාණය 21කි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 120 (18.2) මහේල විජයලත් 18, ප්‍රමෝද මෂුශාන් නොදැවී 23, ඉසුරු උදාන 3/13, ෂෙශාන් ජයසූරිය 3/23

LB ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 121 (15.4) ලහිරු උදාර 32, ලක්ෂාන් රොද්‍රිගෝ 21, ෂෙශාන් ජයසූරිය නොදැවී 51

අවිඳු තීක්ෂණ ඩිමෝ ක්‍රීඩකයෝ දණ ගස්වයි

ඩිමෝ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දැමූ වමතින් දඟපන්දු යැවූ අවිඳු තීක්ෂණ MAS Silueta කණ්ඩායමට 2018 වසරේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන…

හේලීස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

මෙම තරගයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කඩුලු 4කින් ජය ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හේලීස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගත්හ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී ය.

කඩුලු 5ක් දැවී ලකුණු 40ක් තිබූ ඉනිම කඩුලු 6කට 74ක් දක්වා රැගෙන ඒමට දිනුක් වික්‍රමනායක සහ චානක රුවන්සිරි සමත් වූහ. චානක රුවන්සිරි පන්දු 12කට ලකුණු 15ක් ලබා ගනිමින් දැවී ගියේය. අනතුරුව දිනුක් 9 වැනි කඩුල්ලට අලි ඛාන් (08) සමඟ එක් වෙමින් ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගූහ.

ඉනිම අවසන් වෙන විට දිනුක් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියේ ය.  

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 9කට යවමින් කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ චතුරංග ද සිල්වා ය. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක චාමර කපුගෙදර පන්දු 20ක දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

සඳුන් වීරක්කොඩි පන්දු 10ක දී ලකුණු 22ක් ද, ඩිල්ශාන් මුණවීර පන්දු 14ක දී ලකුණු 23ක් ද ලබා ගනිමින් කොමර්ෂල් ඉනිමේ අනෙක් ලකුණු වාර්තා කළ පිතිකරුවෝ වූහ.

පන්දු යැවීමේ දී අලි ඛාන් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තේ ය.  

හේලීස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 139 (20.0): අවිශ්ක ප්‍රනාන්දු 18, දිනුක් වික්‍රමනායක නොදැවි 71, චතුරංග ද සිල්වා 4/09, අසිත ප්‍රනාන්දු 2/18

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 141 (18.3): ඩිල්ශාන් මුණවීර 23, සඳුන් වීරක්කොඩි 22, චතුරංග ද සිල්වා 32, චානක කපුගෙදර 26, අලි ඛාන් 2/20

තරගාවලියේ තවත් තරග 4ක් හෙට (31) පැවැත්වීමට නියමිත ය. ඒ අනුව MAS Silueta  සහ සම්පත් බැංකුව අතරත් MAS යුනිචෙලා සහ LB ෆිනෑන්ස් අතර තරග කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී ද, TeeJay ලංකා සහ ඩිමෝ අතර තරගයත් සහ ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය කොළඹ 7, වෙළඳසේවා පිටියේ දීත් පැවැත්වීමට නියමිත ය. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<