ලෝක කුසලාන කාන්තා අවසාන පූර්ව තරඟයේ දෙවන තරඟය අද (31) නවසීලන්ත කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන්ට ලකුණු 18 ක සබඳතාවක් ගොඩනැංවීමට හැකිවිය. හේල් මැතිව්ස් ලකුණු 16 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි. අනතුරුව තවත් ලකුණු 50ක් එකතු වන විට දෙවන කඩුල්ල ලෙස ස්ටැෆනි ටේලර් ලකුණු 25 කට දැවී යන ලදි. දේන්ද්‍රා ඩොටින් වේගවත් ලකුණු 17 ක් රැස් කර පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ලකුණු 125 ක් වන විට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ඉණිම ගොඩනැගු බ්‍රිට්නි කුපර් පන්දු 48 කදී 4 පහරවල් 5 ක් හා 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 61 ක් ලබා සිටියදී දැවී යන ලදි. ස්ටැනී ඈන් කිං ලකුණු 4 කටද, ෂෙමයින් කෑම්ප්බෙල් ලකුණු නොලබාම දැවී යන ලදි. නොදැවී ක්‍රීඩා කල මොරිස්සා එගියුලේරියා ලකුණු 15 ක් ලබා ගන්නා ලදි. පන්දුවාර 20 අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 143 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂොපි ඩිවයින් පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුළු 4 ක් දවාලීමට සමත් වූ අතර ඇයට සහය වූ මොර්නා නිල්සන් ලකුණු 14 කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

ලකුණු 144 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක සබඳතාව ලකුණු 11කට සීමා කරමින් ලකුණු 6 ක් ලබා සිටි රචෙල් ප්‍රයිස්ට් දැවී යන ලදි. දෙවන කඩුල්ල ලෙස වේගවත්ව පිත්ත හැසිරවු ෂොපී ඩිවයින් පන්දු 14 කදී ලකුණු  22 ක් ලබා සිටියදී දැවී යන ලදි. නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 49 ක් වෙද්දී සුසී බැට්ස් ලකුණු 12 කට දැවී යන ලදි. අනතුරුව 4 වන කඩුල්ල සඳහා ලකුණු  59ක සබඳතාවක් එක්වන ලදි. එය අවසන් කරමින් අමීස්ටැටර්වෙයිට් ලකුණු 24 කට දැවී යන ලදි. තවත් ලකුණු 8 ක් ලකුණු පුවරුවට එක්වෙද්දී කැතී පර්කින් ලකුණු 2 කට දැවී යන ලදි. 7 වන කඩුල්ල ලෙස ලෙගී කැස්පරික් ලකුණු 6කට දැවී යන ලදි. අවසාන පන්දුවාරයට ලකුණු 19 ක්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුවද, පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 8 ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 137 ක් පමණි. එරින් බර්මින් හැම් ලකුණු 8 කට දුවද්දී දැවී යාමකට හසු විය. නොදැවී ක්‍රීඩා කල කැතී මාර්ටින් ලකුණු 11 ලබා ගන්නා ලදි. අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 6  කින් තරඟය ජයග්‍රහණය කරමින් අවසාන මහා තරඟය ට සුදුසුකම් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී ස්ටැෆනි ටේලර් ලකුණු 26 කට කඩුළු 3 ක් ද,  අෆී ෆලෙචර්, සකීනා කුවින්ටන් , ෂාමිලා කෙනෙල් එක් කඩුල්ල බැගින් දවාලීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස බ්‍රිට්නි කුපර් සම්මාන දිනාගත් අතර 2016 පන්දුවාර 20-20 කාන්තා අවසාන මහා තරඟය ලබන ඉරිදා (3) ලෝක ශූරී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.