මහනුවර සහ CR & FC අවසන් සටනට සුදුසුකම් ලබයි

Maliban Club Rugby League 2025/26

1
Maliban Club Rugby League 2025/26

2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ කණ්ඩායම් තරග පැවැත්වෙන අවසන් සතිය ඊයේ (15) දිනයේ නිමාවට පත් වුනා.

මෙම සති අන්තයේ ද තරග හතරක් ක්‍රියාත්මක වූ අතර, එම තරග නිමා වන විට මහනුවර සහ CR & FC කණ්ඩායම් ලීගයේ අවසන් මහා තරගය වෙනුවෙන් සිය ස්ථාන වෙන් කර ගැනීමට ද සමත් වුනා.

ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදාව

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් කරට කර සටනක නිරත වෙමින් තරග වැදුණා. මෙහි දී පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, ගුවන් හමුදාව විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් පළමු අර්ධය තුළ තිබූ තරගකාරී බව දෙවැනි අර්ධය තුළ ඇති නොවීමට වග බලාගත් පොලිස් ක්‍රීඩකයින් විසින් එම අර්ධයේ දී ගුවන් හමුදාවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

එමෙන්ම පොලිස් ක්‍රීඩකයින් විසින් මෙම අර්ධය තුළත් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබා ගනිමින් සමස්ත ලකුණු 36ක් කරා යෑමට සමත් වුනා.

පොලිස් ක්‍රීඩා සමාජය 36 (6T, 3C) – ගුවන් හමුදාව 12 (2T, 1C)

  • තරගයේ වීරයා යොහාන් පීරිස් (පොලිස් ක්‍රීඩා සමාජය)

යුද හමුදාව සහ නාවික හමුදාව

මෙම තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට යුද හමුදාව විසින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ යුද හමුදාව විසින් උත්සාහක දිනුම් පහක් සමඟ ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් වූ අතර, නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 17ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදාව තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

යුද හමුදාව 57 (9T, 6C) – නාවික හමුදාව 24 (3T, 3C, 1P)

තරගයේ වීරයා විනෝද් කුමාර් (යුද හමුදාව)

CH & FC සහ Havelock SC

ලීගයේ ශූරතාව වෙනුවෙන් සටන් වදිනා කණ්ඩායම් හතර අතුරින් තෙවන සහ සිව්වැනි ස්ථානවල රැඳෙන කණ්ඩායම් ලෙස මෙම කණ්ඩායම් තරගයට පිවිසුණා. ලකුණු සටහනේ ස්ථානය මෙන්ම, මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරකින් ආරම්භ වූ අතර, පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 17ක් ලබාගන්නා අතරේ Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබමින් ඉතා සුළු ඉදිරියක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් විසින් සිය උපරිම ජවය යොදා CH ක්‍රීඩකයින් පාලනය කිරීමට සමත් වූ අතර, එම කාල සීමාව තුළ CH & FC ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ වාර්තා කිරීමට අසමත් වුනා.

මෙම කාල සීමාව තුළ Havelock ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් 3ක් සමඟ ලකුණු 31ක් ලබා ගන්නේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි.

මෙම ජයත් සමඟ Havelock කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.

Havelock SC 50 (6T, 4C, 3P, 1DG) – CH & FC 17 (2T, 2C, 1P)

  • තරගයේ වීරයා සැමුවෙල් මදුවන්ත (Havelock SC)

CR & FC සහ Kandy SC

මෙවර තරගවාරයේ ක්‍රියාත්මක වූ වඩාත් තීරණාත්මක සහ උණුසුම් තරගයක් ලෙස මෙම තරගයත් සටහන් වුනා.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම අතිශය උණුසුම් තරග රටාවකට අවතීර්ණ වෙමින් ක්‍රීඩාවේ යෙදුණා.

පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 07ක් වාර්තා කරන අතරේ, මහනුවර ක්‍රීඩකයින් ද එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම විසින් තවත් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගැනීමට සමත් වූ නමුත්, ඒවායේ ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට අසමත් වුනා. කෙසේ වෙතත් මෙම අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් තවත් එක් උත්සාහක දිනුමක් මෙන්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව එක් දඬුවම් පහරක් ද සාර්ථක කර ගත්තා. ඒ අනුව තරගයේ ජය CR & FC කණ්ඩායම සතු වූ අතර, ඒ අනුව ඔවුන් මෙවර ලීගයේ අවසන් මහා තරගය වෙනුවෙන් සිය ස්ථානය තහවුරු කර ගැනීමට ද සමත් වුනා.

CR & FC 17 (2T, 2C, 1P) – මහනුවර 15 (3T)

  • තරගයේ වීරයා මුර්ශීඩ් සුබායර් (CR & FC)

මේ අනුව මෙවර ලීගයේ ශූරතාව වෙනුවෙන් සටන සඳහා CR & FC සහ මහනුවර කණ්ඩායම් එළඹෙන සති අන්තයේ දී තරග බිමට පිවිසීමට නියමිතයි.

දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<