2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 2026 වසරට අදාළ තරගවලට ආරම්භය ලබා දෙමින් ගෙවුණු සති අන්තයේ දී ලීගයේ 08 වැනි සතිය ක්‍රියාත්මක වුනා.
යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC
මෙම වසරේ පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ ජය CH & FC කණ්ඩායම වෙත හිමි වුනේ මෙවර ලීගය තුළ ඔවුන්ගේ අපරාජිත ගමන තවදුරටත් සුරක්ෂිත කරමිනුයි.
තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙමින් තරග වැදුණු අතර, කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් ත්‍රිත්වය බැගින් ද වාර්තා කිරීමට සමත් වුනා. මෙහි දී යුද හමුදාව ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, CH & FC කණ්ඩායම ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගන්නා අන්දමේ ක්‍රීඩා විලාශයකට නතු වූ අතර, එහි දී ඔවුන් තවත් උත්සහාක දිනුම් 4ක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ යුද හමුදාවෙන් වාර්තා වුනේ එක් උත්සාහක දිනුමක් පමණයි.
CH & FC 43 (7T, 4C) – යුද හමුදාව 25 (4T, 1C, 1P)
- තරගයේ වීරයා – දේවින්ද රත්නායක (CH & FC)
CR & FC සහ Havelock SC
මෙවර රග්බි ලීගයේ තවත් බලාපොරොත්තු සහගත සටනක් ලෙස මෙම තරගය ආරම්භ වුනා.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ පටන් ම CR & FC ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, මෙහි දී ඔවුන් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් වාර්තා කරන අතරේ, Havelock පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 07ක් පමණයි.
පළමු අර්ධය අයුරින් ම තරගයේ දෙවැනි අර්ධයත් ක්‍රියාත්මක වූ අතර, එහි දී CR & FC ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් 3ක් සමඟ ලකුණු 19ක් වාර්තා කර ගත්තා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ Havelock ක්‍රීඩකයන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
CR & FC 33 (5T, 4C) – Havelock SC 14 (2T, 2C)
තරගයේ වීරයා – තේනුක නානායක්කාර (CR & FC)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
මහනුවර සහ ගුවන් හමුදාව
බොහෝ දෙනා මෙම තරගය ජය ගනු ඇති බවට අනුමාන කළ මහනුවර කණ්ඩායම විසින් ඒ අයුරින් ම තරගය ඉතා පහසුවෙන් ජය ගනිමින් සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට රැගෙන යාමට සමත් වුනා.
මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම උත්සහාක දිනුම් 05ක් සමඟ ලකුණු 29ක් වාර්තා කිරීමට සමත් වූ අතර, දෙවැනි අර්ධයේ දී මහනුවර විසින් තවත් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී වැඩි දක්ෂතා දැක්වූ කණ්ඩායම ලෙස ගුවන් හමුදාව හඳුන්වා දිය හැකි. ඔවුන් මෙම කාල සීමාව තුළ උත්සාහක දිනුම් 04ක් සමඟ ලකුණු 22ක් වාර්තා කිරීමට සමත් වුනා.
මහනුවර 36 (6T, 3C) – ගුවන් හමුදාව 22 (4T, 1C)
- තරගයේ වීරයා – හේශාන් ජැන්සන් (මහනුවර)
පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය
මෙම සතියේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ට වඩා හොඳ තරග ආරම්භයක් ලබාගත් නාවික හමුදාව ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනා. ඔවුන් මෙහි දී පළමුව නාවික හමුදාව තවදුරටත් ලකුණු ලබා ගැනීමෙන් වලකාලීමට සමත් වූ අතර, දෙවැනුව තම ලකුණු පුවරුවට තවත් ලකුණු 07ක් එක් කර ගැනීමට ද සමත් වුනා.
ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජය මෙවර තරග වාරයේ සිය දෙවැනි ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
පොලිසිය 14 (2T, 2C) – නාවික හමුදාව 10 (1T, 1C, 1P)
- තරගයේ වීරයා – මොහාන් විමලරත්න (පොලිස් ක්‍රීඩා සමාජය)
මෙම සතියේ තරග නිමාවත් සමඟ මේ වන විට ලීග් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CR & FC කණ්ඩායම සමත් වී සිටිනවා. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ලීගයේ තරග පහක් ක්‍රීඩා කර ඇති අතර, තරග 4 බැගින් ක්‍රීඩා කරමින් තවමත් අපරාජිත බව රැක ගැනීමට සමත් වී සිටින මහනුවර සහ CH & FC කණ්ඩායම් ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිනවා.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















