2025 දේශීය රග්බි ලීගය ආරම්භ වෙයි

Maliban Club Rugby League 2025/26

296
Maliban Club Rugby League 2025/26

2025 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය පසුගිය 14 වැනි දා ආරම්භ වුනා.

පොලිස් ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු තරගයෙන් ආරම්භ වූ මෙවර රග්බි ලීගයේ පළමු සතිය තුළ තරග හතරක් ක්‍රියාත්මක වුනා. කෙසේ වෙතත් වත්මන් ලීග් රග්බි ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙම සතියේ දී තරග බිමට අවතීර්ණ වුනේ නැහැ.

නිමා වූ සති අන්තය තුළ ක්‍රියාත්මක වූ තරග පිළිබඳ විස්තර පහතින්;

CH & FC සහ පොලිස් ක්‍රීඩා සමාජය

මෙම තරගයේ දී පොලිස් ක්‍රීඩකයින්ට තරගයට අවතීර්ණ වීමට දශමයක හෝ ඉඩක් ලබා නොදුන් CH & FC ක්‍රීඩකයින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ පොලිස් ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට අසමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් පෙරට වඩා අභියෝගයක් තම ප්‍රතිවාදීන්ට එල්ල කිරීමට සමත් වුවත්, එය ඔවුන්ට පරාජයෙන් ගැලවීමට තරම් සහයක් ලබා දුන්නේ නැහැ.

මෙහි දී සමිත වර්ණකුලසූරිය විසින් CH & FC වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වුනා.

  • CH & FC 29 (4T, 3C, 1P) – පොලිස් ක්‍රීඩා සමාජය 05 (1T)

තරගයේ වීරයා සමිත වර්ණකුලසූරිය (CH & FC)

ගුවන් හමුදාව සහ යුද හමුදාව

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. මෙම තරගයේ පළමු අර්ධයේ දී දෙපිළම කරට කර සටනක් ලබා දීමට සමත් වූ අතර, මෙහි දී ගුවන් හමුදාව ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අතරවාරයේ තරගයේ පෙරමුණ ලබා ගත් යුද හමුදාව ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ගුවන් හමුදාව සමත් වුනා. මෙහි දී ගුවන් හමුදාව විසින් තවත් ලකුණු 14ක් ලබා ගනිමින් මුළු ලකුණු තත්වය 24ක් කරා රැගෙන යාමට සමත් වූ අතර, යුද හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

  • ගුවන් හමුදාව 24 (3T, 3C, 1P) – යුද හමුදාව 19 (3T, 2C)

තරගයේ වීරයා ශෂික ප්‍රනාන්දු (ගුවන් හමුදාව)

CR & FC සහ Sri Lions

මෙම තරගයේ දී CR & FC කණ්ඩායම විසින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ CR & FC කණ්ඩායම විසින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර, Sri Lions ක්‍රීඩකයින් මෙම කාලය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතර, Sri Lions ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

මෙහි දී CR & FC කණ්ඩායම වෙනුවෙන් ආරෝන් පෙරේරා විසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

  • CR & FC 65 – Sri Lions 08

තරගයේ වීරයා හර්ෂ මදුරංග (CR & FC)

නාවික හමුදාව සහ Havelock ක්‍රීඩා සමාජය

ගෙවුණු සතියේ ක්‍රියාත්මක වූ වඩාත් තරගකාරී ම තරගය ලෙස මෙම තරගය ලෙස හඳුන්වා දිය හැකි. මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ පෙරමුණ ලබා ගත් නාවික හමුදාව විසින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, Havelock ක්‍රීඩකයින් විසින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ නාවික හමුදා ක්‍රීඩකයින් විසින් ලබා ගත් ලකුණු ප්‍රමාණය හඹා යාමට Havelock ක්‍රීඩකයින් සමත් වුනා. මෙහි දී වරෙක Havelock ක්‍රීඩකයින් ලකුණු 31-24ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට ද සමත් වුනේ දෙවැනි අර්ධය තුළ ලකුණු 21ක් වාර්තා කරමිනුයි.

කෙසේ වෙතත් තරගය අවසන් වීමට මොහොතකට පෙර නාවික හමුදාව විසින් තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය සම මට්ටමට ගෙන ඒමට සමත් වුනා.

  • නාවික හමුදාව 31 (4T, 4C, 1P) – Havelock 31 (5T, 3C)

තරගයේ වීරයා ඉසුරු කෝන්ගහවත්ත (නාවික හමුදාව)

දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<