අසේලගේ දැවැන්ත වාර්තාවක් දුශාන් විසින් බිඳ දමයි

1035

අනාගතයේ ලොව දිනන තරු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2018/19 අන්තර් සමාජ මේජර් ලීග් ක්‍රිකට් A තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (8) දෙවන දිනයටත් ක්‍රියාත්මක වූ අතර අද දිනයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයේ දුශාන් විමුක්ති පනාගොඩ ක්‍රිකට් පිටියේ වාර්තා වී තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීමට සමත් වූයේ මින් පෙර එහි හිමිකරු වූ අසේල ගුණරත්නගේ වාර්තාවක් බිඳ දමමිනි.

දුෂාන්, ඔසඳ සහ ඇන්ජලෝ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භක දිනයේ දී ශතක තුනක් වාර්තා……

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය

පනාගොඩ යුධ හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුධ හමුදා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 285ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දුෂාන් විමුක්ති පනාගොඩ යුධ හමුදා පිටියේ පළමු පෙළ තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 339කට සහභාගී වී හතරේ පහර 11ක් සහ හයේ 6ක් සමඟින් ලකුණු 178ක් ලබා ගන්නා ලදි.

මෙම වාර්තාව මීට පෙර සතුව තිබුණේ අසේල ගුණරත්න (යුධ හමුදාව) වෙතයි.  ඔහු 2016 වසරේ දී බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 158ක් ලබාගෙන පිහිටුවා තිබූ වාර්තාව අද දිනයේ දී දුශාන් විසින් බිඳ දැමුවේය. සීකුගේ ප්‍රසන්න හා ලක්ෂාන් එදිරිසිංහ අර්ධ ශතක ලබාගෙන යුධ හමුදා පළමු ඉනිම දැවැන්ත ලකුණක් වෙත ඔසවා තැබුවේය.

මේ තරගයේ දෙවන දිනය නිමා වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලබාගෙන සිටි වරාය අධිකාරිය කණ්ඩායම ඉතාමත් අසීරු අඩියක පසුවෙන්නේ යුධ හමුදා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 342ක් පසුපසින් සිටීම නිසාවෙනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 462/9d (127.2): දුශාන් විමුක්ති 178, සීකුගේ ප්‍රසන්න 89, ලක්ෂාන් එදිරිසිංහ 81, ඩිල්ශාන් ද සොයිසා 46, චමින්ද බණ්ඩාර 4/112.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 120/8 (47.2): ප්‍රමෝශ් පෙරේරා 28, ප්‍රශාන් වික්‍රමසිංහ 26, දුශාන් විමුක්ති 3/12, ජනිත් සිල්වා 3/27.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 225ක් ලබා ගත්හ.

එයට පිළිතුරු දුන් සී. සී. සී. කණ්ඩායම අද දිනය තුල සියල්ලන්ම දැවී ලකුණු 367ක් ලබා ගත්තේ කෝල්ට්ස් පළමු ඉනිමට වඩා ලකුණු 132ක් ඉදිරියෙන් පසුවෙමිනි.

සී. සී. සී. පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අශාන් ප්‍රියංජන් පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් හා 6 පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 161ක් ලබා ගත්තේ ය. වනිදු හසරංග ලකුණු 56යි.

කඩුලු ලබා ගැනීමේ දී කෝල්ට්ස් කණ්ඩායම් මද වේගපන්දු යවන කවිශ්ක අංජුල ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේ ය. දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 225/10 (87.3): විශාද් රන්දික 68, නිසල තාරක 26, මාලින්ද පුෂ්පකුමාර 6/86, අශාන් ප්‍රියංජන් 2/32

සී. සී. සී පළමු ඉනිම – 367 (87): අශාන් ප්‍රියංජන් 161*, වනිඳු හසරංග 56, කවිශ්ක අංජුල 3/28.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 17/2 (6.1):

Photos: Colts v CCC | Major League Tier A Tournament 2018/19

ThePapare.com | Hiran Weerakkody | 07/12/2018 Editing and re-using images without permission of ThePapare.com will…..


රාගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

නිමේෂ් විමුක්තිගේ පන්දුකරණයෙන් වර්ණවත් වූ මෙම තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දෙවන දිනය සඳහා තරගය නවතා දමන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 159යි.

කාසියේ වාසිය දිනාගෙන ඊයේ (7) දිනයේ පන්දුවට පහර දුන් මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 281ක් ලබා ගත් අතර එයට පිළිතුරු දුන් රාගම ක්‍රිකට් සමාජය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 241ක් පමණි. එහි දී ඔවුන්ගේ කිසිදු පිතිකරුවෙක් හට ලකුණු 42 සීමාව පසුකර යාමට නොහැකි වූයේ නිමේෂ්ගේ දක්ෂ පන්දු යැවීම (6/76) නිසයි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 281 (60.2): ඔසඳ ප්‍රනාන්දු 100, හර්ෂ කුරේ 95,  අමිල අපොන්සු 5/86, සහන් නානායක්කාර 4/45.

රාගම ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 246 (79.1): සමින්ද ප්‍රනාන්දු 42, අක්ෂු ප්‍රනාන්දු 40,  ජනිත් ලියනගේ 31, නිමේෂ් විමුක්ති 6/76, චතුර රන්දුනු 4/98.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ)  – 159/4 (37): තික්ෂිල ද සිල්වා 85, යශෝධ ලංකා 34, අමිල අපෝන්සු 4/68.


බී. ආර්. සී. කණ්ඩායම සහ මීගමු ක්‍රිකට් සමාජය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 221ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනය තුල සිය පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදි.

අන්තර් සමාජ මේජර් ලීග් ක්‍රිකට් A තරගාවලියේ පළමු වතාවට තරග වදිනු ලබන මීගමු ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

පළමු ඉනිමේ අවාසිය සහිතව පිටියට පැමිණි බී. ආර්. සී කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 63ක් ලබාගෙන තිබිණි.

බී. ආර්. සී. පළමු ඉනිම – 221 (72.4): හෂේන් රාමනායක 66, දේශාන් ඩයස් 42, රවින්ද්‍ර විජේසූරිය 30, ෂෙහාන් ජයසූරිය 4/56, උපුල් ඉන්ද්‍රසිරි 3/49

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 258  (86.4): ලසිත් කෘෘස්පුල්ලේ 79, සහන් ආරච්චිගේ 37, මොහොමඩ් ශිරාස් 6/86, ටී. එන්. සම්පත් 3/50.

බී. ආර්. සී. දෙවන ඉනිම  (දෙවන දිනය අවසානයේ) – 63/0 (16):

Photos: Negombo CC Vs. BRC | Major League Tier A Tournament 2018/19

ThePapare.com | Viraj Kothalawala | 08/12/2018 Editing and re-using images without permission of ThePapare.com will be…..


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වූයේ සත්කාරක එස්. එස්. සී  පළමු ඉනිමත් සමඟයි.

කෞෂාල් සිල්වා එස්. එස්. සී පළමු ඉනිමේ දී පන්දු 203කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කවිඳු කුලසේකර ද නොදැවී ලකුණු 76*ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 151ක් වැය කළ අතර හතරේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චාමිකර එදිරිසිංහ ලකුණු 77කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ඊයේ (7) දිනයේ දී කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායක ධම්මික ප්‍රසාද්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්හ.

සැරසන්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 293 (88.1): ගමිඳු කනිශ්ක 95, සාලිය සමන් 81, තරිඳු රත්නායක 3/57, සචිත්‍ර සේනානායක 2/48, කසුන් මධුශංක 2/53.

එස්. එස්. සී ක්‍රීඩා සමාජ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 302/5 (90): කෞෂාල් සිල්වා 127, කවිඳු කුලසේකර 76*, චාමිකර එදිරිසිංහ 3/77.

Photos: SSC v Saracens SC | Major League Tier A Tournament 2018/19

ThePapare.com | Waruna Lakmal | 07/12/2018 Editing and re-using images without permission of ThePapare.com will…..


එන්. සී. සී. සහ ටැමිල් යූනියන් කණ්ඩායම

ඊයේ (7) කාසියේ වාසිය දිනූ සංචාරක එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිස පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 296ක් ලබා ගත්හ. එයට අද දිනයේ දී පිළිතුරු දුන් ටැමිල් යූනියන් කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි.

Photos: Tamil Union C & AC v NCC | Major League Tier A Tournament 2018/19

එම ඉනිම සුනුවිසුනු කළ දකුණතින් දඟපන්දු යවන සචින්ත පීරිස් ලකුණු 74කට කඩුලු 5ක් දවාලීමේ ප්‍රතිඵලයක් ලෙස ටැමිල් යූනියන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 35කි.

තරගයේ දෙවන දිනය අවසන් වෙන විට එන්. සී. සී ක්‍රීඩකයෝ තම දෙවන ඉනිමට ක්‍රීඩා කරමින් කිසිවෙක් නොදැවී ලකුණු 84ක් ලබා සිටින්නේ ටැමිල් යූනියන් පළමු ඉනිමට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් පසුවෙමිනි.

එන්. සී. සී. පළමු ඉනිම – 296 (83.2): ඇන්ජලෝ පෙරේරා 124, ලහිරු උදාර 38, උපුල් තරංග 37, මාලිංග අමරසිංහ 37,  සචිත්‍ර සේරසිංහ 3/64, ලහිරු මිලන්ත 2/17, සදීෂ් පතිරණගේ 2/54

ටැමිල් යූනියන් පළමු ඉනිම – 184 (68.5): ලහිරු මිලන්ත 35, සචින්ත පීරිස් 5/74.

එන්. සී. සී. දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 84/0 (24): ලහිරු උදාර 46*

හෙට (09) මෙම තරග සියල්ල ම තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත අතර සියලුම තරග තොරතුරු සේයාරූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<