ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් සමඟින් භානුක රාජපක්ෂ දේශීය පිටිය කළඹයි!

567

තමාට ජාතික කණ්ඩායමේ දොරගුළු නොඇරෙන්නේ නම් දොර කඩාගෙන හෝ ඇතුළට එන්නට තමන් සූදානම් බව BRC ක්‍රීඩක භානුක රාජපක්ෂ අද පෙන්වා දුන්නේය. ඒ මාධ්‍ය සාකච්ඡා තැබීමෙන් නොව ස්වකීය පිත්තෙන් ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් වාර්තා කර ගැනීමෙනි. මීට අමතරව ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් තවත් තරග 2ක් අද (02) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය.

ජයමාන්නට තවත් ශතකයක්; නිශාන් පීරිස්ගෙන් කඩුලු 6ක්

නව මාසය අරඹමින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තුන්දින තරග 3ක් ඊයේ (01) කොළඹ දී ආරම්භ විය. එහි දී මීගමුව ක්‍රිකට් සමාජයේ ප්‍රසංසන…

බදුරලිය ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

තරගයේ දින දෙකක් නිමා වෙද්දී කැපී පෙනෙන ලෙස වාසි හිමි කරගෙන සිටින්නේ රාගම ක්‍රිකට් සමාජයයි. තම ප්‍රතිවාදීන් ඊයේ තුන්දින තරගයක් සඳහා ප්‍රමාණවත් ලකුණු පුවරුවක් වශයෙන් ලකුණු 277ක් රැස්කර ගත්ත ද අද ඔවුන්ව අභිබවා යමින් ලකුණු 389ක් ලබා ගන්නට රාගම පිතිකරුවෝ සමත් වූහ.

ඒ වෙනුවෙන් වැඩිම ලකුණු ගලා ඒම වාර්තා වූයේ රාගම පිළේ කඩුලු රකින පිතිකරු සමීර ද සොයිසාගේ පිත්තෙනි. වමතින් පිතිකරණයේ යෙදෙන ඔහු අද තම පළමු පෙළ දිවියේ සත්වැනි ශතකය ලෙස ලකුණු 150ක් රැස්කර ගත්තේය. පන්දු 230කට මුහුණ දුන් ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට අලංකාර හතරේ පහර 16ක් සහ දැවැන්ත හයේ පහර 6ක් ද ඇතුළත් විය.

Photos: Ragama CC v Baduruliya CC | Major Plate Tournament 2018/19

රාගම ක්‍රිකට් සමාජයේ සාර්ථකත්වයට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඊයේ දිනය නිමා වන තුරුම නොදැවී සිටිමින් දැක්වූ දායකත්වය ද සුළුපටු නොවේ. ඒ අතරින් ජනිත් ලියනගේ අද උදෑසන ලකුණු පුවරුව කරකවන්නට අපොහොසත් වුවද ඔහුගේ සහය පිතිකරු ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 70ක් දක්වා ඉනිම තර කොට ගත්තේය. රාගම පිළට එකම අභියෝගය බවට පත්වූ බදුරලිය නායක අලංකාර අසංක ස්වකීය දකුණත් පිට දඟපන්දුවේ පිහිටෙන් කඩුලු 6ක්ම දවා ගත්තේය. ඒ අතර ශතකලාභී සමීරගේ කඩුල්ල ද විය. මේ වන විට බදුරලිය කණ්ඩායම කඩුලු 10ම අතැතිව රාගම ක්‍රිකට් සමාජයට වඩා ලකුණු 108ක් පිටුපසින් පසුවෙයි.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 277 (පන්දුවාර 78.5) පැතුම් මදුසංක 76, දෙනුවන් රාජකරුණා 44, සචිත් පතිරණ 42, සාලින්ද උශාන් 36, බුද්ධික සංජීව 28, ලහිරු සමරකෝන් 16, නිශාන් පීරිස් 6/88, අමිල අපොන්සු 3/62.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 389 (පන්දුවාර 97.3) සමීර ද සොයිසා 150, ශෙහාන් ප්‍රනාන්දු 70, සමින්ද ප්‍රනාන්දු 31, ජනිත් ලියනගේ 30, සංජය චතුරංග 30, ඉශාන් ජයරත්න 20, සුපේෂල ජයතිලක 20, අලංකාර අසංක 6/84.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 4 (පන්දුවාර 1) සාලින්ද උශාන් 4*.

ලෝක කුසලානයේ උණුසුම වැඩි කරන පෙරහුරු තරග පෙළගැස්ම

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පෙළහර දැක්ම ලෙස පිළිගැනෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ එංගලන්තය සහ වේල්ස් යන රාජ්‍ය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට…

මීගමුව ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ දින දෙකක් ගෙවී යන විට වැඩි වාසි හිමි කරගෙන සිටින්නේ මුවර්ස් කණ්ඩායමයි. මේ වන විට ඔවුන් මීගමු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 34ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු දෙකක් අතැතිවයි.

ඊයේ දිනයට තරගය නතර කරන විට මීගමුව පිළ කඩුලු 9ක් දැවී සිටි අතර අද දිනයේ කිසිදු ලකුණක් වාර්තා වන්නට පෙර ඔවුන්ගේ ඉනිම නිමා විය. ඒ මීගමු නායක ඇන්ජෙලෝ ජයසිංහ එක් අන්තයක නොදැවී රැඳී සිටිය දී අවසන් කඩුල්ල ලෙස අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් රොශේන් ප්‍රනාන්දු දැවී ගිය බැවිනි. ඒ වන විට මීගමු ඉනිමට ලකුණු 242ක් එක්වී තිබුණි.

Photos: Moors SC Vs Negombo CC | Major Plate Tournament 2018/19

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් අනුක් ප්‍රනාන්දු අද හරියටම ලකුණු 100ක් රැස්කර ගත්තේය. ඒ තම පළමු පෙළ දිවියේ දෙවැනි ශතකය ලෙසයි. මුවර්ස් ක්‍රීඩා සමාජය ගොඩගත් ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. මීට අමතරව මේ දිනවල දී තුන් ඉරියව්වෙන්ම අනිවාර්ය දක්ෂතා ප්‍රකට කරන රමේෂ් මෙන්ඩිස් ලකුණු 63ක් වාර්තා කළේය. මේ වන විට පිතිකරණ හැකියාවක් සහිත එකම ක්‍රීඩකයා වශයෙන් පිටියේ රැඳී සිටින ලහිරු අත්තනායක ලකුණු 35ක් ලබා සිටියි. දිනය නිමා වෙද්දී මුවර්ස් ප්‍රථම ඉනිම දැක්වෙන්නේ කඩුලු 8කට ලකුණු 276ක් ලෙසයි.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 90) ප්‍රසංසන ජයමාන්න 108, අශේන් සිල්වා 41, ඇන්ජෙලෝ ජයසිංහ 24*, ශෙහාන් ජයසූරිය 20, රමේෂ් මෙන්ඩිස් 4/52, චානුක් දිල්ශාන් 2/33.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 276 (පන්දුවාර 86) අනුක් ප්‍රනාන්දු 100, රමේෂ් මෙන්ඩිස් 63, ලහිරු අත්තනායක 35*, චාමර සිල්වා 34, අල්විස් නානායක්කාර 16, උපුල් ඉන්ද්‍රසිරි 3/94, රොශේන් ප්‍රනාන්දු 2/35, ශෙහාන් ජයසූරිය 2/76.

එළඹෙන ලෝක කුසලානය පිළිබඳ අර්ජුනගේ අනාවැකිය

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් නායකයෙකු ලෙස සැලකෙන ලෝක කුසලානය දිනූ අර්ජුන රණතුංග පසුගිය සිකුරාදා AFP වෙබ් අඩවිය හමුවේ අනාවැකියක් පල කර තිබුණා.

වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

කෙටියෙන්ම කිවහොත් තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම ලියැවුනේ භානුක රාජපක්ෂගේ නමිනි. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ද, සහජ දක්ෂතාවක් සහිත යොවුන් ක්‍රීඩකයෙකු ලෙස ද, 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන වකවානුවේ සිටම ඔහුව බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටිය ද කුමක්දෝ අවාසනාවකට ඔහුව එකදු ජාත්‍යන්තර තරගයක දී හෝ ශ්‍රී ලංකාව භාවිතයට ගත්තේ නැත. මේ වන විට ඔහුගේ වයස 27කි. හරිහැටි තරගකාරී දේශීය සීමිත පන්දුවාර තරගාවලියක් නොමැති නිසා ඔහු අද තම නිසඟ දක්ෂතා එළි දැක්වීමට යොදා ගත්තේ තුන්දින තරගයකි!

කෙසේ හෝ අද උදෑසන බින්දුවෙන් ඉනිම ඇරඹූ ඔහු පන්දුවාර 78ක් ගතවෙන තැන ලකුණු 268ක් රැස් කරගෙන අවසන්ව තිබුණි. ඒ පන්දු 173ක් පමණක් තම මැජික් ඉනිම වෙනුවෙන් යොදාගෙනයි. මෙම ඉනිමට දර්ශනීය හතරේ පහර 22ක් සහ ඔහුටම ආවේණික දැවැන්ත හයේ පහර 19ක් ඇතුළත් විය. පන්දුවට පහර දීමේ වේගය සටහන් වූයේ 154.91ක් ලෙසිනි. මෙය ඔහුගේ 5 වැනි පළමු පෙළ ශතකය බවට පත්වූ අතර මීට පෙර ඔහු තම පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ලකුණු 174ක් රැස් කරගෙන තිබුණි. ශ්‍රී ලංකා පිළ මේ වන විටත් සීමිත පන්දුවාර තරගවල පහළටම වැටී සිටින නිසා තේරීම් කමිටුව ඉදිරි තරගාවලි වලදී මෙම තරුණ ක්‍රීඩකයා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතිය හැකිය.

වමතින් පිත්ත හසුරුවන භානුකගේ මේ සුපිරි දක්ෂතා නිසාම BRC පිළට ලකුණු 629ක් ලබාගෙන තරග ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තුවක් ද ඇතිවිය. මේ වන විට වරාය අධිකාරිය මුල් ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 237 පසු කරගෙන ගව් ගණනක් ඉදිරියට ගොස් ඇති BRC පිළ සිටින්නේ සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 392ක් ඉදිරියෙනි. එබැවින් හෙට දිනයේ දී වරාය අධිකාරි පිතිකරුවන් මෙල්ල කොට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔවුන්ට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය වී ඇත.

වරාය අධිකාරිය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 79.3) යොහාන් ද සිල්වා 137, ඉශාන් රංගන 38, ගයාන් මනීශාන් 19, අනුක් ද අල්විස් 16, මධූක ලියනපතිරණගේ 3/49, දුවිඳු තිලකරත්න 2/21.

BRC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 629 (පන්දුවාර 92.3) භානුක රාජපක්ෂ 268, රුමේෂ් බුද්ධික 91, රමින්ද විජේසූරිය 72, නිමන්ත ගුණසිරි 69, දේශාන් ඩයස් 28, සවීන් ගුණසේකර 15, චානක කොමසාරු 4/124, අනුක් ද අල්විස් 3/139, හශාන් විමර්ශන 1/127.

මෙම තරග සියල්ලම හෙට (03) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වන අතර එහි සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<