ගංදස්සාරයක් නොවූ සංගක්කාර!

1230

මේ ඡායාරූප දැක්කාම කාවද මතක් වෙන්නේ?

ගංදස්සාර කියල කෙනෙක්ද, සංගක්කාර කියල කෙනෙක්ද?

2003 අවුරුද්දේ අප්‍රිකානු මහද්වීපයේ පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානය බලන කාලේ නම් ශ්‍රී ලංකාවේ අපේ බොහෝ දෙනෙක්ට මෙයා ගංදස්සාර.

2000 වසරේ දී අතිශයින්ම දීප්තිමත් ක්‍රීඩකයෙක් ලෙසින් ජාත්‍යන්තර වරම් දිනා ගත්ත කුමාර් සංගක්කාරට පළමු තරග කිහිපයේ දී ම ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාව ‘ලිට්ල් කළු’ නම් ආදරණීය නමින් හඳුන්වපු රොමේෂ් කළුවිතාරණගේ තැන අරගෙන තමයි සංගක්කාර ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ. ඒකට අපේ මිනිස්සු පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ.

කළු කියන්නේ ලකුණු නොගහ ටීම් එකේ හිටියත් මිනිස්සු සෑහෙන කැමති ආදරය කරපු කෙනෙක්.

දැන් අපි ආපහු 2003 අවුරුද්දට එමු.

2002/03 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියට සහභාගී වෙච්චි එක කණ්ඩායමක් ශ්‍රී ලංකාව.

සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති තරග දෙකක දී ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට එරෙහිව ශතක වාර්තා කරගෙන රජ්ජුරුවෝ වගේ හිටපු සනත් ජයසූරිය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති එංගලන්ත තරගයේ දී ලකුණු 99ක් ලබාගෙන ශතකයට ඔන්න මෙන්න.

රොනී ඉරානි එවපු පන්දුවක් මිඩ් ඕෆ් කලාපයට තල්ලු කරල සනත් ඉක්මන් ලකුණක් ලබා ගන්න බලන්නේ තරගාවලියේ තමන්ගේ තුන්වැනි ශතකය ලබා ගන්න.

අවාසනාවක මහත අනිත් අන්තයේ ඉන්නේ අපේ කතා නායක කුමාර් සංගක්කාර. මේ වෙලාවේ සංගක්කාර අතින් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්තයක් කඩ වෙනවා. තමන්ගේ සහායක පිතිකරුවාගේ ඇමතීම එකපාර විශ්වාස නොකරපු සංගක්කාර තමන්ට පිටිපස්සේ හිටපු පන්දු රකින්නා දෙසට බැල්මක් හෙලලා තමයි දුවන්න පටන් ගන්නේ.

කරුමයක මහත සංගක්කාර ගිහින් හැප්පෙන්නේ සනත්ගේ ඇඟේ. එහා මෙහාට පැනල දෙන්නම බේරෙන්න හැදුවත් සනත්ගේ ඉරණම එංගලන්ත නායක නසාර් හුසේන්ගේ එල්ලය බලා කෙළින්ම කඩුල්ලට එල්ල කරපු පන්දු විසි කිරීමත් එක්ක තීරණය වුනා.

සනත් අතපය විසි කර කර ක්‍රීඩාගාරයට පියමං කරද්දී අපිට සංගක්කාර ගැන ආවේ යස්ස කේන්තියක්.

කොහොමත් ජයසූරිය- සංගක්කාර දෙන්නා විකට් අතරේ දුවන එක තරමක ඛේදවාචකයක්. 2008 ආසියානු කුසලානය එහෙම මතක ඇති නේ.

ඔහොම ගිහින් ලෝක කුසලානයත් ආවා. ඇත්තටම කිව්වොත් 2003 ලෝක කුසලානයට ගියපු අපේ ඇත්තෝ ඒ තරගාවලිය ඒ තරම් හොඳට කළේ නෑ. අවසන් පූර්ව තරගයට ආවා ඒකත් ඉතින් හරිම අමාරුවෙන්.

ලෝක කුසලානයට ගියපු ශ්‍රී ලංකා සංචිතයේ කඩුලු රකින්නා සංගක්කාර. හැබැයි එයාගේ තරගකාරයා කළුවිතාරණ ඊට කළින් ලංකාවේ පැවැත්වුණ දේශීය ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා. කළු රෙඩ් හොට් ෆෝම් එකේ ඉන්න වෙලේ සංගක්කාර 2002 වසර අග දකුණු අප්‍රිකාවේ තිබුණ එක්දින තරගාවලියේ දී දිගටම ෆේල්.

දැන් කාලේ වගේ දෙකයි පනහේ මීඩියා ඒ දවස්වල නැති වුනත් තිබුණ මීඩියාවලිනුත් සනත්ගේ අතේ බැඳපු පිරිත් නූල් පවා අල්ලන් ගැහුවේ සංගක්කාර එක්ක තිබුණ ඇරියස් එකටම ද මන්දා.

හිතා ගන්න ශ්‍රී ලංකා නායකයාට, කුමාර් සංගක්කාර කියන තරුණ කඩුලු රකින ක්‍රීඩකයාට තිබුණ පීඩනය.

කඩුලු රකින්නෙක් විදියට සංගක්කාරට ටොප් ආයුධයක් තිබුණා. ඒ තිබුණේ විකට් එක පිටිපස්සේ ඉඳන් චතුර ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් නියම හැකර කටක්. 

ඒ කාලේ සුද්දෙක් අපිට මොනවහරි කිව්වාම නිහතමානීව විරිත්තලා හිනාවෙනවා ඇරෙන්න උගේ බාසාවෙන් ඌට රිදෙන්න දෙන්න පුළුවන් එකෙක් අපිට හිටියේ නෑ. සුද්දගේ බාසාවේ කප්පිත්තෝ හිටියත් එයාලා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්වරු. ඒ නිසා එයාලා වැඩිය ගේම ඉල්ලුවේ නෑ.

මතක ඇතිනේ එකපාරක් සංගක්කාර ෂෝන් පොලොක්ට දීපු දීමනාව. දැන් කොහොම වුනත් ඒ කාලේ මයිකල් ඇතර්ටන්, නසාර් හුසේන් වගේ අයටත් සංගක්කාර කියන කෙනා පේන්න බෑ.

ලෝක කුසලානයේ දී කෙන්යාවට පැරදිලා කොදෙව්වෝ එක්ක යාන්තම් දිනාගෙන, දකුණු අප්‍රිකානුවන් එක්ක තරගය සම කරගෙන යාන්තම් සුපර් සික්ස් වටයට ආපු අපිට සෙමි ෆයිනල් එකට එන්න ඉන්දියාවටත් සපෝර්ට් කරන්න වුනා. ඒ තරම් ඛේදනීයයි. එදා අපේ තත්වේ.

එදා අපේ කණ්ඩායමේ මැදපෙළ තනිකරම විනාශයක්. එහෙන් සංගක්කාර ෆේල් මෙහෙන් සංගක්කාරගේ හොඳම යාළුවා මහේල ජයවර්ධන ෆේල්.

ඊට හපන් විකට් එක පිටිපස්සේ සංගක්කාරගේ වැඩ. බුල් කෝටියයි. සිම්පල් රනවුට්ස්, ස්ටම්පින් සංගා මිස් කළේ හිතාගන්නවත් බැරි විදියට.

ඔක්කොටෝම වඩා දැනුණ වැරැද්දක් වුනේ අවසන් පූර්ව තරගයේ දී ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ කඩුල්ල බිඳ දැමීම සංගක්කාර අතින් මිස් වීම.

ඒ අස්සේ අරවින්දගේ දුවද්දී දැවී යෑම. පොඩ්ඩක් හිතන්න මිනිස්සුන්ට කේන්ති යන එක සාධාරණයි නේද?

ඔය කාලේ තමයි සංගක්කාරට ගංදස්සාර කියන නම පටබැඳෙන්නේ. සංගක්කාරගේ තාත්තා එවකට ශ්‍රී ලංකා පුහුණුකරු ඩේව් වට්මෝර්ට ගෙයක් දුන්නා කියල කතාවකුත් යන්නේ ඔය අතරේ. මතක තියාගන්න ඒ දවස්වල සෝෂල් මීඩියා නැහැ.

හිතාගන්න සෝෂල් මීඩියා නැති කාලේ එහෙම රැල්ලක් ලංකාවේ ඒ තරම් ඉක්මනින් ගියා නම් ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණා නම් සංගක්කාරට වෙන දේ.

හැබැයි මිනිස්සු කොච්චර එහෙම බැන්නත් මොකක්දෝ අමුතුම තාලයේ ක්ලාස් එකක් සංගක්කාරගේ තිබුණා.

2003 ලෝක කුසලානය ඉවර වෙච්චි ගමන් අපිට සාජා නුවරට යන්න තිබුණා. ඒ චෙරි බ්ලොසම් සාජා සිව්කොන් තරගාවලියට. 

මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව පාකිස්තානු, කෙන්යා සහ සිම්බාබ්වේ කණ්ඩායම් එක්ව සිටියා.

මෙම සාජා තරගාවලියට නම් කරපු මූලික සංචිතයේ සංගක්කාරගේ නම නැහැ. මහේල ජයවර්ධනත් නැහැ. කඩුලු රැකීම ප්‍රසන්න ජයවර්ධනට පැවරී තිබුණා.

මේ අතරේ තමයි ලෝක කුසලානයෙන් විශ්‍රාම ගියපු අරවින්ද ද සිල්වා තේරීම් කමිටුවට නම් වෙන්නේ. ආපු ගමන් අරවින්ද කරන්නේ සංගක්කාරව සංචිතයට කැඳවන එක. අරවින්දටත් අමු කැවිල ද කියල ඒ කාලේ මිනිස්සු කතා කළා.

2003 චෙරි බ්ලොසම් සාජා සිව්කොන් තරගාවලියේ හොඳම පිතිකරුවා වෙන්නේ සංගක්කාර ශතක දෙකක් එක්ක. ඒ වගේම තරගාවලියේ වීරයා වෙන්නෙත් සංගක්කාර.

අරවින්ද එදා ගත්තු තීරණය සංගක්කාර කියන එක්දින ක්‍රීඩකයාගේ හැරවුම් ලක්ෂ්‍යය. එදා ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බවට පත් වෙනකල් සංගක්කාර ආපු ගමන ඉතා විශාල කැපවීමකින් ආපු එකක් කියන්න පුළුවන්. ඒ වගේම තමන්ට කිසිම කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න අමාරු වෙන තරමට ඔහු ගේම් එක හදාගත්තා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<