සුපිරි කායවර්ධන ශූරයා තරුණ වයසේ දීම මෙලොව හැර යයි

112
Luke Sandoe

IFBB ප්‍රධාන කායවර්ධන ශූරයෙකු සහ එක්සත් රාජධානියේ රසිකයන්ගේ ප්‍රියතම කායවර්ධන ශූරයෙකු වූ ලූක් සැන්ඩෝ තම ජීවන තරගයෙන් සමුගෙන තිබේ. ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 30කි. 

ඔහුගේ දිගුකාලීන පුහුණු සහකරු සහ සෙසු IFBB ප්‍රෝ ලීග් කායවර්ධන ක්‍රීඩක ජේම්ස් හොලිංස්හෙඩ් සහ හොලිංස්හෙඩ්ගේ පෙම්වතිය විසින් ඊයේ (07) උදෑසන ඔහුගේ නිවසේ දී මියගොස් සිටි සැන්ඩෝ සොයාගෙන ඇත. මෙම පුවත මුලින්ම තහවුරු කළේ Muscular Development හි රොන් හැරිස් විසිනි.

ටයිසන් හා සොනී බිල් අතර ද්වන්ද සටනක්?

හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් සමඟ සටනකට ගියහොත් සුපිරි නවසීලන්ත රග්බි..

මරණයට හේතුව හෝ එය සිදු වූ වේලාව පිළිබඳ තහවුරු කරන ලද කිසිදු වාර්තාවක් මේ දක්වා ලැබී නැත. සැන්ඩෝ මීට දින දෙකකට පෙර සිය Instagram ගිණුමේ වීඩියෝවක් පළ කර තිබුණි. සැන්ඩෝ අභාවප්‍රාප්ත වූ ආකාරය පිළිබඳ කටකතා පැවතුණ ද මෙම ලිපිය පලවන තුරුම ඒ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර නොමැත.

සැන්ඩෝ අවසන් වරට මහජනතාවගේ අවධානයට ලක් වූයේ 2020 ආනෝල්ඩ් ක්‍රීඩා උළෙලේ දී ය. ඔහු ආනෝල්ඩ් ක්ලැසික් වෙබ් විකාශනවල ප්‍රබල දස්කම් දැක්වීමට සමත් විය. ඔහු YouTube හි වීඩියෝ සහ පෝඩ්කාස්ට් සඳහා සහභාගී වීම නිසා ඔහු රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයෙක් විය. හය වතාවක් ඔලිම්පියා ශූරතාවය දිනා ගත් ඩෝරියන් යේට්ස් විශ්‍රාම ගැනීමෙන් පසු කායවර්ධන ක්‍රීඩාව නියෝජනය කරන එක්සත් රාජධානියේ තරුව සැන්ඩෝ වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස විය.

කාය වර්ධන ක්‍රීඩාවේ සෑම රසිකයෙකුම හා ක්‍රීඩකයන් බොහෝ දෙනා වෙතින් සැන්ඩෝගේ අහිමි වීම පිළිබඳව උපහාර හා ප්‍රකාශ ලබා දී තිබුණි.

“සාමදානයේ සැතපෙන්න, ලූක් සැන්ඩෝ. ඔබ කරුණාවන්ත, විහිලුවෙන් ජීවත් වුන හොඳ හදවතක් ඇති කෙනෙක්. ඔබ ඉක්මනින් මෙලොවින් ගොස් ඇත. ලූක් 2019 ආනෝල්ඩ් ක්ලැසික් හි තෙවැනි ස්ථානයට පත්වූ අතර 2020 ආනෝල්ඩ් ක්ලැසික් වෙබ් විකාශයේ සම-සත්කාරකත්වය දැරුවා. ඔහු කායවර්ධන ක්‍රීඩාවට මග හැරෙනු ඇත. “ – ආනෝල්ඩ් ක්‍රීඩා උළෙල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. 

“මම දැන් සම්පූර්ණ කම්පනයට පත්ව සිටින්නේ. මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් මම ප්‍රාර්ථනා කළා මේක ව්‍යාජ එකක් වෙන්න කියලා. ඒත් ඒක එහෙම එකක් නෙමෙයි. මම සෑම විටම ඔබ සමඟ හොඳ කාලයක් ගත කළා. ඔබේ ජීවිතයේ සහ ඔබේ වෘත්තීය ජීවිතයේ දියුණුව දැකීමට මම ගොඩක් ආසා කළා. මගේ සිතුවිලි, යාච්ඤා සහ ශෝකය ඔබගේ පවුලේ අයට, මිතුරන්ට සහ ආදරණීයයන් වෙත යොමු කරනවා. වේදිකාවේදීත් ඉන් පිටතත් ඔබව බොහෝ සෙයින් මතක් වේවි” – බ්‍රැන්ඩන් කරි (ඔලිම්පියා ශූර 2019)

“සහෝදරයා, සාමදානයේ සැතපෙන්න. මිනිසෙකු, පියෙකු හෝ කායවර්ධන ශිල්පියෙකු ලෙස ඔබව කිසිදා අමතක කරන්නේ නෑ” – ඩස්ටි හන්සෝ (IFBB ප්‍රෝ ලීග් කායවර්ධන ක්‍රීඩක)

සැන්ඩෝ හිටපු බ්‍රිතාන්‍ය ජාතික ශූරයකු වන අතර ඔහු වෘත්තිය කායවර්ධනය සඳහා සුදුසුකම් ලැබුවේ එලෙසිනි.

මෙම වසරේ තරගාවලියට පෙර ඔහුට තවම සාර්ථක ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ නමුත් 2019 ඔහුගේ සාර්ථකම වසර ලෙස සැලකේ. ඔහු 2019 Tampa Pro හි දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. එහි ශූරයා වූයේ ඩෙක්ස්ටර් ජැක්සන් ය. 

2019 ආර්නෝල්ඩ් ක්ලැසික් හි තෙවැනි ස්ථානය ලබා ගැනීමට ද සැන්ඩෝ සමත් වූ අතර තවත් තරගාවලි දෙකක දී හොඳම ස්ථාන 5 අතරට පැමිණීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පළමු වරට ඔලිම්පියා සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එම වාරයේ දී ඔහු 11 වැනි ස්ථානයට පත්වීමට සමත් විය. ඔහුට තවම 2020 තරග වාරයේ තරග කර තිබුණේ නැත. 

ඔහුගේ වේදිකා ජයග්‍රහණ හැරුණු විට, ඔහු තරග සඳහා සූදානම් වීමේ අවසන් අදියරේ සිටිය දීත් ඔහුගේ ශක්තිය නිසා ප්‍රසිද්ධියට පත්වීමට සැන්ඩෝ සමත් විය. ඔහුගේ කැපී පෙනෙන ජයග්‍රහණ අතර රාත්තල් 220 (කිලෝ 100) ඩම්බල් යොදා ගනිමින් Flat dumbbell bench press කිරීම දැක්විය හැක. 

කෙසේ වෙතත් ලූක් සැන්ඩෝගේ අභාවය පිළිබඳව සමීප ආරංචි මාර්ගවලට අනුව ලූක් සැන්ඩෝ සියදිවි නසාගෙන ඇති බව පසුව වාර්තා විය. මෙය කායවර්ධන ලෝකය සඳහා හද කම්පා කරවන ප්‍රවෘත්තියක් විය. 

ලූක් සැන්ඩෝගේ සමීපතමයෙකු වූ ෆ්ලෙක්ස් ලුවිස් Instagram හි සටහනක් පලකරමින් ලූක්ගේ මරණයට හේතුව සනාථ කළ තිබුණේ මෙසේයි,

“මම ගොඩක් වෙලා ඉඳන් යමක් ලියන්න උත්සාහ කළා. ඒත් මේ වේදනාව වචන කරන්න මට බෑ. ඒක හරියට ගොඩක් කල් එකට ඉන්න තරුණ යාළුවන් දෙදෙනෙක් ඉක්මනින් වෙන් වුනා වගේ.

මම ලූක්ව දශකයක වගේ කාලයක ඉඳන් දන්නවා. අපි දෙදෙනාටම Gasperi විසින් අනුග්‍රාහකත්වය සැපයුවා. මම බලාගෙන හිටියා ඔහු pro ක්‍රීඩකයෙක් විදිහට දියුණු වෙනවා. මම බලාගෙන හිටියා ඔහු REDCON1, PODCASTS සමඟින් ගිවිසුම් අත්සන් කළා. ආනෝල්ඩ් තරගාවලියේ දී ඔහු තුන්වැනි ස්ථානයට ආවම මම ගොඩක් සතුටු වුනා. ගොඩක් ආඩම්බර වුනා. 

අපි වසරෙන් වසර සමීප වුනා. ලුක් ඉතා විනෝදජනක ක්‍රීඩකයෙක් වූ අතර ඔහුගේ හාස්‍යය මට සැබැවින්ම මතක් වේවි. අපි කලාතුරකින් පුහුණුවීම් කළේ. මම දැනගෙන හිටියා ඔහු ගැඹුරු හදවතක් තියන කෙනෙක් කියලා. නමුත් මම දැනගෙන හිටියේ නැහැ ඔහු වේදනාවෙන් සිටි බව. 

සිය දිවි නසාගැනීම් හෝ මානසික ආතතිය සමඟ තමන් දුර්වල ‍යැයි හැඟෙන ඕනෑම කෙනෙකුට ඔබ කවදාවත් තනිවම ඉන්න එපා. යමෙකුට හා කථා කිරීමට ළඟා වීමට උත්සාහ කරන්න. උදව් කිරීමට අවශ්‍ය බොහෝ වෘත්තීය සංවිධාන තියනවා. 

සාමදානයේ සැතපෙන්න, ලූක් සැන්ඩෝ!”

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<