Home Sinhala අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!

අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!

2223
Avishka Fernando

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයත් කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි විය. 

ඒ තවත් පන්දුවාර 5ක්ම ඉතිරිව තිබිය දී බංග්ලාදේශ කණ්ඩායම පහසුවෙන්ම පරාජය කරමිනි. මෙම ජයග්‍රහණය වසර තුනහමාරක කාලයකට පසු ශ්‍රී ලංකාව තම මව්බිමේ දී ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස ද ඉතිහාසයට එක්විය.

අපි තරගාවලිය 2-0ක් කරමු?

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට්..

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් තමිම් ඉක්බාල් තීරණය කළේ මුලින් පිතිකරණය තෝරා ගැනීමටයි. ඒ ලසිත් මාලිංග නොමැති ශ්‍රී ලංකා පන්දු බල ඇණියට හිතේ හැටියට පහර දීමේ බලාපොරොත්තු ඇතිවයි. 

මුල් තරගයට ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සිටි රුබෙල් හුසේන් වෙනුවට අද තයිජුල් ඉස්ලාම් කණ්ඩායමට ඇතුළත් වී සිටි අතර ශ්‍රී ලංකා පිළට අද ඉසුරු උදාන සහ අකිල ධනංජය කැඳවා තිබුණි. ඒ එක්දින තරග වලින් ගෞරවාන්විතව සමුගෙන ගිය ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙනුවටයි.

අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැහැබර කාලගුණ තත්ත්වයක් ද, වියළි තණතිල්ලක් ද දැකිය හැකි වූ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායම ඉහළ ලකුණක් කරා යනු ඇති බවටයි. 

නමුත් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැති අඩුව සාමූහිකව පියවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 11ක් ලබා සිටි සෞම්‍ය සර්කාර්ව දවා ගනිමින් සටන ආරම්භ කළහ. ඔහු දැවී ගියේ නුවන් ප්‍රදීප් තණතිල්ලේ නොවැදී යොමු කළ පන්දුව (Full Toss) කෙලින්ම පා ආවරණයේ දවටාගත් නිසයි.

ඉන් අනතුරුව තිසර පෙරේරා වෙනුවට කණ්ඩායමට එක්වුනු ඉසුරු උදාන එම තේරීමට හොඳ සාධාරණයක් ඉටු කරමින් ප්‍රබල වමත් පිතිකරු තමිම් ඉක්බාල්ගේ කඩුල්ල බිඳ දැම්මේය. ඒ තමිම් ලකුණු 19ක් ලබා සිටිය දීයි.

කාලය කෑ බංගලාදේශයට දඩ!

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී අඩු පන්දුවාර වේගය හේතුවෙන් බංගලාදේශය…

මාස 4කට පමණ පසු නැවතත් එක්දින කණ්ඩායම සමඟ එකතු වුනු අකිල ධනංජය තම අලුත් පන්දු යැවීමේ ඉරියව්වෙන් ද ප්‍රයෝජන ගත හැකි බව පෙන්නුම් කළේ මොහොමඩ් මිතුන් සහ මහමදුල්ලා පිටියෙන් ඉවත් කරමිනි. අද ඔහු දඟ කැවුණු පන්දුවක් මගින් මහමදුල්ලාගේ කඩුල්ල බිඳ හෙලුවේ තම එක්දින දිවියේ 50 වැනි කඩුල්ල ලෙසයි.

මීට අමතරව මැදපෙළ පිතිකරු සබීර් රෙහ්මාන්ව ශ්‍රී ලංකා පිළ දුවද්දී දවා ගත්තේ ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා වේගවත්ව ක්‍රියාත්මක වීම නිසයි. ඉසුරු උදානට දෙවැනි කඩුල්ල හිමිකර දීමට ද කුසල් පෙරේරා කඩුල්ල පිටුපස සිට අපහසු උඩපන්දුවක් රැක ගත්තේය. එහි දී දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටි මොසැද්දික් හුසේනුයි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අද කඩුලු අතරට පිවිසෙන්නට නොහැකි වුවද නවක ක්‍රීඩක ලහිරු කුමාර ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්තේ මෙම මන්දගාමී තණතිල්ලේ පැයට කිලෝමීටර් 148ක වේගයකින් පවා පන්දු යවමිනි. එසේම පැ.කි 103කට වේගය අඩාල කරමින් හොඳ විවිධත්වයක් රඳවා ගැනීමට ද ලහිරුට හැකි විය.

මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී යාම නිසා වරෙක බංග්ලාදේශ ඉනිම ලකුණු 117කට කඩුලු 6ක් ලෙස සටහන් වුවද සත්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සබඳතාවය ඔවුන්ට ලකුණු 200 ඉක්මවා යාමට උපකාරී විය. 

ලකුණු 84ක එම සබඳතාවය නිමා වන්නේ නුවන් ප්‍රදීප් යොමු කළ වේගය අඩාල කළ පන්දුවකට මෙහෙදි හසන් මිරාස් දැවී යාමත් සමඟයි. ඒ වන විට ඔහු හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියේය. නුවන් ප්‍රදීප් මෙන්ම ඉසුරු උදාන සහ අකිල ධනංජය අද කඩුලු 2 බැගින් බිඳ දමමින් වැඩි දස්කම් දැක්වූහ.

බංග්ලාදේශ පිළේ සිටින විශ්වාසනීයම පිතිකරු වන මුෂ්ෆිකර් රහීම් අදත් පිත්තෙන් සාර්ථක වූයේ පන්දු 110කින් නොදැවී ලකුණු 98ක් ලබා ගනිමිනි. බංග්ලාදේශයට යම් තරමක හෝ බලාපොරොත්තුවක් ඉතිරි කර දුන් ඔහුගේ සටන්කාමී ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඔහු සතු ආත්ම විශ්වාසයත්, හැකියාවත් මේ වන විට බංග්ලාදේශය සතු වටිනාම ආයුධය බවට පත්ව ඇත.

අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!

ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව..

කෙසේ වෙතත් ලකුණු 72 දී රහීම්ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාවක් සහ ලකුණු 95 දී ලබා දුන් උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතින් මග හැරුණේ ඔහු සතුව වාසනාව ද ඇති බව පෙන්නුම් කරමිනි. 

නමුත් ඉනිමේ අවසන් කොටසේ දී ඔහු ශතකය කරා යන්නට දැඩි වෙහෙසක් ගත්ත ද එය ඉටුකර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉඩක් ලබා දුන්නේ නැත. රහීම්ගේ මෙම ඉනිමට පින් සිදු වන්නට බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 238ක් රැස්කර ගැනීමට හැකි විය. 

මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹා යාමට පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 71ක් එක් කරමින් ශක්තිමත් අඩිතාලමක් දමා දුන්හ. එහි දී වඩාත්ම කැපී පෙනුනේ ඉතාමත් හොඳින් කල් යල් මනිමින් අවිශ්ක ප්‍රනාන්දු පිටිය සිසාරා එල්ල කළ අලංකාර පහරවල් රාශියයි. ඔහු මේ වන විට පන්දුවට පහර දෙන ආකාරය දකින විට ශ්‍රී ලංකා පිළට සීමිත පන්දුවාර තරගයකට අතිශයින්ම උචිත පිතිකරුවෙකු හමුවී ඇති බව ප්‍රත්‍යක්ෂ වේ. අවිශ්ක අද පන්දු 75කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟයි.

කලක පටන් ලකුණු කුසගින්නකින් පෙළෙන කුසල් ජනිත් පෙරේරා අද පන්දු 34කින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී ගියේ මුස්ටෆිසුර්ගේ පන්දුවක් හමුවේයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් ද ලකුණු අතරට පිවිස සිටින නිසා කුසල්ගේ මෙම දැවී යාම ශ්‍රී ලංකාවට පීඩනයක් ගෙන දුන්නේ නැත. 

ඒ අනුව මුල්පෙළ පිතිකරුවන් අතින් තරගයේ වගකීම භාර ගත් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව කඩුලු 7ක පහසු ජයක් කරා කැටුව ගියේ තවත් පන්දුවාර 5ක්ම ඉතිරිව තිබිය දීයි. වැදගත්ම කරුණ වන්නේ අද කණ්ඩායමේ සාමූහික දක්ෂතාවයෙන් ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලි ජයග්‍රහණය ද ශ්‍රී ලංකා පිළට හිමි වීමයි.

ක්‍රම ක්‍රමයෙන් නැවතත් රිද්මයට පැමිණෙමින් සිටින කුසල් මෙන්ඩිස් අද පන්දු 74ක දී නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 4ක් සමඟින් තැනට සුදුසු ඉනිමක් දියත් කරමිනි. 

ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් තම අත්දැකීම්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් තරගයේ අවසන් පන්දුවේ දී තම 38 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. පන්දු 57ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. 

පන්දු යවන්නන් අතුරින් ශ්‍රී ලංකාවට යම් තරමක හෝ තර්ජනයක් එල්ල කළේ ලකුණු 35ට කඩුලු 2ක් දවා ගත් මුස්ටෆිසුර් රහ්මාන් පමණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග 3කින් පමණක් සමන්විත කෙටි තරග සංචාරය නිමා කරමින් තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 31 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය නම් කර තිබෙන්නේ ලොව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානයට පවා පැමිණි දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමිනි. 

ශ්‍රී ලංකාවට එම තරගයත් ජයගෙන තරගාවලිය 3-0ක් ලෙස අවසන් කිරීමට ලැබුනොත් එය කුලසේකරට කරන ගෞරවයක් මෙන්ම ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් නැවත නගා සිටුවීමට ප්‍රබල පිටිවහලක් ද වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
242/3 (44.4)

Bangladesh
238/8 (50)

Batsmen R B 4s 6s SR
Tamim Iqbal b Isuru Udana 19 31 2 0 61.29
Soumya Sarkar lbw b Nuwan Pradeep 11 13 1 0 84.62
Mohammad Mithun c Kusal Mendis b Akila Dananjaya 12 23 1 0 52.17
Mushfiqur Rahim not out 98 110 6 1 89.09
Mahmudullah b Akila Dananjaya 6 18 0 0 33.33
Sabbir Rahaman run out (Dhananjaya de Silva) 11 19 2 0 57.89
Mosaddek Hossain c Kusal Perera b Isuru Udana 13 27 0 0 48.15
Mehidy Hasan Miraz c Dimuth Karunaratne b Nuwan Pradeep 43 49 6 0 87.76
Taijul Islam run out (Nuwan Pradeep) 3 9 0 0 33.33
Mustafizur Rahman not out 2 2 0 0 100.00


Extras 20 (b 3 , lb 4 , nb 1, w 12, pen 0)
Total 238/8 (50 Overs, RR: 4.76)
Fall of Wickets 1-26 (5.4) Soumya Sarkar, 2-31 (8.1) Tamim Iqbal, 3-52 (14.3) Mohammad Mithun, 4-68 (18.6) Mahmudullah, 5-88 (24.3) Sabbir Rahaman, 6-117 (31.5) Mosaddek Hossain, 7-201 (45.3) Mehidy Hasan Miraz, 8-231 (49.2) Taijul Islam,

Bowling O M R W Econ
Dhananjaya de Silva 10 0 39 0 3.90
Nuwan Pradeep 10 0 53 2 5.30
Isuru Udana 10 0 58 2 5.80
Lahiru Kumara 10 0 42 0 4.20
Akila Dananjaya 10 0 39 2 3.90


Batsmen R B 4s 6s SR
Avishka Fernando c Tamim Iqbal b Mustafizur Rahman 82 75 9 2 109.33
Dimuth Karunaratne b Mehidy Hasan Miraz 15 29 1 0 51.72
Kusal Perera c Soumya Sarkar b Mustafizur Rahman 30 34 3 0 88.24
Kusal Mendis not out 41 74 4 0 55.41
Angelo Mathews not out 52 57 7 0 91.23


Extras 22 (b 0 , lb 9 , nb 1, w 12, pen 0)
Total 242/3 (44.4 Overs, RR: 5.42)
Fall of Wickets 1-71 (11.3) Dimuth Karunaratne, 2-129 (20.4) Avishka Fernando, 3-146 (24.4) Kusal Perera,

Bowling O M R W Econ
Mehidy Hasan Miraz 10 0 51 1 5.10
Shaiful Islam 5 0 29 0 5.80
Taijul Islam 10 2 35 0 3.50
Mustafizur Rahman 8 0 50 2 6.25
Mosaddek Hossain 7 0 32 0 4.57
Sabbir Rahaman 2.4 0 20 0 8.33
Soumya Sarkar 2 0 16 0 8.00