Messi ප්‍රංශයෙන් ඇමරිකාවට

431

සෞදි අරාබියෙන් ලැබූ විශාල ගිවිසුම ප්‍රතික්ෂේප කළ සුපිරි ක්‍රීඩක Lionel Messi ඇමරිකානු පාපන්දු ලීගය වන Major League Soccer තරගාවලියේ Inter Miami කණ්ඩායම සමඟ එක් වූ බව BBC පුවත්පත වාර්තා කරනවා.

ඔහු අවසන් වරට නියෝජනය කළ Paris St Germain කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු නිදහස් නියෝජිතයෙකු ලෙස (free agent) Miami කණ්ඩායමට එක්ව තිබෙනවා.

පසුගිය සතියේ Paris කණ්ඩායම සමඟ සිය අවසන් තරගයට ක්‍රීඩා කළ Messi නැවතත් සිය පැරණි කණ්ඩායම වන බාර්සිලෝනා කණ්ඩායම සමඟ එක් වනු ඇතැයි පුවත් පල වූවත්, කණ්ඩායමේ මූල්‍යමය තත්වය වැනි ගැටලු නිසා ඔහු නැවතත් එම කණ්ඩායමට එක් නොවූ බව ද මාධ්‍ය වාර්තා කළා.

මෙම ගිවිසුම සමඟ 35 හැවිරිදි Messi වසර 22කට පසුව යුරෝපයෙන් පිටත කණ්ඩායමකට ක්‍රීඩා කරනු ඇති අතර වයස අවුරුදු 13 දී බාර්සිලෝනා ඇකඩමිය සමඟ එක් වූ ඔහු කණ්ඩායම වෙනුවෙන් ගෝල 672ක් වාර්තා කර තිබෙනවා.

Messi මෙම ඇමරිකානු කණ්ඩායමට එක් වීමත් සමඟ තරගාවලියේ ජනප්‍රියත්වය ඉහළ යන අතර එමගින් විශාල විද්‍යුත් විකාශන ආදායමක් ලබා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.

2022 වසරේ ආර්ජෙන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙහෙය වූ Messi හිටපු ක්‍රීඩා සමාජය වන Paris කණ්ඩායම සමඟ ද පසු ගිය වසරේ කුසලාන කිහිපයක් දිනා ගත්තා.

ඔහු සෞදි අරාබි කණ්ඩායමක් වන Al-Hilal සමඟ සම්බන්ධ වීමට ඉතා ආසන්න ඉඩක් පැවති අතර කණ්ඩායම විසින් ඔහුට ඉතා විශාල මූල්‍යමය ගිවිසුමක් ලබා දීමට සූදානමින් පසු වුනා.

සෞදි කණ්ඩායම් මෑත කාලයේ ප්‍රබල ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සඳහා එක් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර මීට පෙර Cristiano Ronaldo සහ Karim Benzema සෞදි කණ්ඩායම් සමඟ එක් වුනා.

හිටපු එංගලන්ත සුපිරි ක්‍රීඩක David Beckham මෙම Inter Miami කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන අතර ඇමරිකානු Major Leagueය නියෝජනය කළ පළමු යුරෝපීය ක්‍රීඩකයා වූවේ ද ඔහුයි.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<