ප්‍රවීණයින්ගේ ලීග් ශූරතාවයේ අනුශූරතාව Asian Lionsට

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

2487

ඕමානයේ පැවැත්වුන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියේ ඊයේ (29) පැවති තීරණාත්මක අවසන් මහා තරගයෙන් Asia Lions ලකුණු 25කින් පරාජය කරන්නට World Giants සමත් වුනා.

Asia Lions ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි World Giants පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගන්නට සමත් වුනා.

මේ තරගය සඳහා ක්‍රීඩා කළ Asia Lions කණ්ඩායමට ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වුනු තිලකරත්න ඩිල්ශාන්, සනත් ජයසූරිය, උපුල් තරංග, චමින්ද වාස්, නුවන් කුලසේකර, මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් 6 දෙනා ක්‍රීඩා කිරීම සුවිශේෂී වුනා.

තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටි යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළ World Giants ආරම්භක පිතිකරු Kevin Pietersen ලකුණු 48ක් රැස් කළේ පන්දු 22කට මුහුණ දෙමින්. ඔහුගේ එම සුපිරි පිතිකරණ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා.

World Giants පළමු කඩුලු දෙක ලකුණු 63කට දැවී ගිය පසුව පිටියට පැමිණි හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක 31 හැවිරිදි Corey Anderson පන්දු 43ක් තුල වේගවත් ලකුණු 94ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් වාර්තා වුනා.

Brad Haddin පන්දු 16කින් ලකුණු 37ක් ලබා සිටිය දී දැවී ගියා. World Giants කණ්ඩායමේ නායක Daren Sammy ලකුණු 38යි.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 3ක් දවා ගත් අතර මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් එක් කඩුල්ල බැගින් බිද හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආසියානු කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 231ක් පමණක් ලබා ගනිමින්.

Asia Lions ආරම්භක පිතිකරුවන් වූ සනත් සහ ඩිල්ශාන් පළමු කඩුල්ල සඳහා පන්දු 33ක දී වේගවත් ලකුණු 57ක ආරම්භක සබඳතාවය ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම සඳහා හොඳ ආරම්භයක් ලබා දුන්නා.

ඩිල්ෂාන් ලකුණු 25 (පන්දු 16) කට සහ ජයසූරිය ලකුණු සංඛ්‍යාව 38කට (පන්දු 23) දැවී ගියත්, ඔවුන් දෙදෙනා අගනා පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ඇතුළු ලෝක ක්‍රිකට් රසිකයින්ට ඔවුන්ගේ සුපුරුදු පිතිකරණ විලාසය නැවත වරක් දැක බලා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නා. සනත්ගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 5ක් වර්ණවත් වුනා.

තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටි උපුල් තරංග ලකුණු 25කට දැවී ගිය අතර Asghar Afghan ලකුණු 24කට දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Mohammad Yousuf නොදැවී ලකුණු 39ක් (පන්දු 21) රැස් කළා.

නුවන් කුලසේකර පන්දු 6ක් සඳහා මුහුණ දෙමින් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් රැස් කළා. චමින්ද වාස් හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා. මුත්තයියා මුරලිදරන් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීම කැපී පෙනුණා.

හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Albie Morkel කඩුලු 3ක් දවා ගන්නා විට, එංගලන්ත හිටපු දඟපන්දු යවන ක්‍රීඩක Monty Panesar කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනා.

World Giants – 256-5 (20 Ov): Corey Anderson 94*, Kevin Pietersen 48, Daren Sammy 38, නුවන් කුලසේකර 3/45.

Asia Lions – 152/3 (13): Mohammad Yousuf 39, සනත් ජයසූරිය 38, උපුල් තරංග 25, තිලකරත්න ඩිල්ශාන් 25, Albie Morkel 3/35, Monty Panesar 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<