ප්‍රවීණා අවසන් මොහොතේ ශ්‍රී ලංකාව දිනවයි

602
Praveena Perera

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම හා භූතාන කාන්තා පාපන්දු කණ්ඩායම අතර පැවති සුහද පාපන්දු තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් විය. ඒ 91 වැනි මිනිත්තුවේ දී ප්‍රවීණා සිල්වා විසින් ලබා ගත් ගෝලයත් සමඟිනි. තරගය ටිම්පු හි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර සූදානමක් ලබා ගැනීම සඳහා මෙලෙස භූතාන සංචාරයක් සඳහා එක්විය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙම වසරේ අවසානයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිතයි. 

මැකාවූ පාඩමක් ඉගෙන ගනිද්දී ලංකාව ඉදිරියට

‘FIFA’ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සහ 2023 ‘AFC’ ආසියානු තරගාවලියේ සුදුසුකම්..

තරගයේ ආරම්භය භූතාන කණ්ඩායම විසින් ලබා ගත් අතර මුල් මිනිත්තු කීපයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වීමට භූතාන ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. භූතාන කණ්ඩායම ගෝල ලබා ගැනීම සඳහා උත්සාහයන් 4ක් දැරූ අතර ඉන් නිවැරදි ඉලක්කයට එල්ල කර තිබුණේ එක් පහරක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල ලබා ගැනීමට එක් උත්සාහයක් පමණක් දැරූ අතර එය සාර්ථක කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයේ දී කැපී පෙනෙන දියුණුවක් පෙන්වූ අතර වැඩි වේලාවක් පන්දුව තබා ගනිමින් ක්‍රීඩා කිරීමට ඔවුන් සමත් විය. මැදපෙළ ක්‍රීඩිකාවන් පන්දුව මනා ලෙස පාලනය කළ අතර කණ්ඩායමේ නායිකා එරන්දි ලියනගේ හා තුශානි මධුශිකා ප්‍රතිවාදී ආක්‍රමණ සාර්ථකව බිඳහෙළමින් චලනි ඒකනායක හරහා තම ආක්‍රමණයන් දියත් කළාය. 

තරගයේ 52 වැනි මිනිත්තුවේ දී නිදහස් පහරක් මගින් ලකුණු රැස්කිරීමට භූතාන කණ්ඩායමට අවස්ථාව ලැබුණු අතර එය ව්‍යර්ථ වී ගියේ ගෝල රකින ක්‍රීඩිකා අයෝමිගේ දක්ශ වැළැක්වීමක් නිසාවෙනි. එම අවස්ථාවේ දී නැවතත් පන්දුව භූතාන ක්‍රීඩිකා Tahering Yangden වෙතට ගිය අතට හිසෙන් එල්ල කළ පහර ගෝලයක් බවට පත්කිරීමට ඇය අසමත් විය. 

ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට හා 2023 ආසියානු කුසලානයට..

63 වැනි මිනිත්තුවේ දී තවත් ආසන්න අවස්ථාවක් භූතාන කණ්ඩායමට හිමි වූ අතර එහි දී අයෝමි හා අචලා සංජීවනීගෙන් ගිලිහී ගිය පන්දුව ගෝලය වෙතට එල්ල කිරීමට පහසු අවස්ථාවක් Ngawang Yangchen හට හිමි විය. එය අසාර්ථක වූ අතර නැවතත් පන්දුව Yangden වෙතට ලැබුණ ද ගෝලයක් ලබාගැනීමට ඇය අසමත් විය. 

තරගය ජය පරාජකින් තොරව අවසන් වන ලකුණු පහල වුව ද අවසන් මිනිත්තු කීපයේ දී දක්ෂ ලෙස ආරක්ෂක ක්‍රීඩිකාවන් මගහරිමින් පන්දුව රැගෙන ගිය තිළිණි ජයසිංහ දිගු පහරක් මගින් පන්දුව ප්‍රවීණා වෙත යොමු කළ අතර පන්දුව මනා ලෙස ස්ථානගත කිරීම නිසා පන්දුව පතිත වූයේ ප්‍රවීණා හා ගෝල රකින ක්‍රීඩිකා Nima Lhden අතරය. පහසුවෙන් පන්දුව ගෝලය වෙත යොමු කළ ප්‍රවීණා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙතට ලබා දීමට සමත් විය. 

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 01 – 00 භූතානය

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<