මැකාවූ පාඩමක් ඉගෙන ගනිද්දී ලංකාව ඉදිරියට

1439

‘FIFA’ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සහ 2023 ‘AFC’ ආසියානු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ මූලික පළමු වටයේ තරගයේ ශ්‍රී ලංකාවට එරෙහි දෙවන අදියරේ තරගය ක්‍රීඩා කිරීමට අපොහොසත් වීමට අදාළව මැකාවු පාපන්දු සංගමයට දඩුවම් පැමිණවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) විනය කමිටුව තීරණය කර ඇත.

මැකාවු ශ්‍රී ලංකා ප්‍රශ්නයට FIFA මැදිහත් වෙයි

2023 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ……

ඒ අනුව පසුගිය 11 දින පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ඔවුන් තීරණය කර ඇති අතර තවදුරටත් මැකාවු පාපන්දු සංගමයට ස්විස් ෆ්‍රෑන්ක් 10,000ක දඩ මුදලක් ද පැනවීමට තීරණය කර ඇත. 

ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විනය කමිටුව විසින් 2022 ‘FIFA’ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ රෙගුලාසි වල 5 වැනි වගන්තිය (ඉවත් වූ, ක්‍රීඩා නොකළ සහ අත්හැර දැමූ තරගවලට අදාළව) සහ ‘FIFA’ විනය නීති සංග්‍රහයේ 56 වැනි වගන්තිය (ක්‍රීඩා නොකළ සහ අත්හැර දැමූ තරග වලට අදාළව) මැකාවු පාපන්දු සම්මේලනය විසින් උල්ලංඝනය කර ඇති බවට තීන්දු වීමත් සමඟ ඔවුන්ට මෙම දඩුවම් පැමිණවීමට තීරණය ගෙන ඇත. 

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මෙම සුදුසුකම් ලබාගැනීමේ මූලික තරග වටයේ දෙවන වටයට සුදුසුකම් ලැබෙන අතර ඒ අනුව ඔවුන් එළඹෙන ජූලි මස 17 වන දින මැලේසියාවේ ක්වාලා ලාම්පූර්හි ‘AFC’ නිවහනේ පැවැත්වෙන කණ්ඩායම් ඇදීමේ (draw) අවස්ථාවට සහභාගී වනු ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ මැකාවූ අතර පැවති පළමු තරගයෙන් පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි තරගය සඳහා මැකාවූ රාජ්‍යය සහභාගී නොවූයේ, අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මැකාවූ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලමිනි. 

මැකාවූ බලධාරීන් විසින් වෙනත් රටක දී තරගය පැවැත්වීමට ඉල්ලීම් කළත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අවධාරණය කර සිටියේ කණ්ඩායමේ සහ තරගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<