54 වැනි ජවන හා පිටිය තරගාවලිය සාර්ථකව නිමාවේ

446
54th CT&FC sports meet 2016 day 2

ලාංකික ජවන හා පිටිය සමාජය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය හා සමාප්ති උත්සවය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්විය.

පසුගිය ලිපි: 54 වන ජවන හා පිටිය තරගාවලිය දියගමදී ආරම්භ වෙයි

54 වන වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ ජාත්‍යන්තර පදක්කම් ලාභි ක්‍රීඩක, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා සහභාගී විය.

දිවයිනේ දැනට ක්‍රියාකාරීව පවතින පැරණිතම මලල ක්‍රීඩා සංගමය වශයෙන් දිවයින පුරා සිටින, නැගී සිටින්නට වෙර දරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉදිරිය දකින්නට සහය පල කිරීමක් වශයෙන් මෙම තරගාවලිය වාර්ශිකව පවත්වනු ලැබේ.

පැවති අධික වර්ෂාව හමුවේ තරගාවලියේ යම් යම් අවස්ථා මගහැරී ගිය ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීමත්, උත්සාහයත් මත තරගාවලිය පවත්වාගෙන යාමට සංවිධායකයින්ට හැකි විය. සමාප්තිය සටහන් කරමින් පැවැත්වීමට නියමිතව තිබූ තූර්යය වාදක සංදර්ශනය හා සරඹ සංදර්ශනය නවත්වා දැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ලැබුවේ වර්ෂාව හේතුවෙන් දුර බැහැර සිට පැමිණි ක්‍රීඩකයින්ට යම් පහසුවක් සලසා දීමේ අරමුණෙනි.

“අපි 54 වන වතාවට මේ ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පවත්වන්නේ, ඒ වගේම කණිෂ්ඨ තරගාවලිය පවත්වනු ලබන්නේ 43වන වතාවටයි. ලංකාවේ දැනට පවතින එකම ක්‍රියාකාරී පැරණිතම මලල ක්‍රීඩා සංගමය විදියට මේක හදුන්වන්න පුලුවන්. ලංකාවේ පැවැත්වූ ප්‍රථම මැරතන් තරගය පැවැතුවෙත් මේ ලාංකීය ජවන හා පිටිය සංගමයෙන්” යැයි ලාංකේය ජවන හා පිටිය සංගමයේ සභාපති අනිල් වීරසිංහ මහතා ThePapare.com වෙත ප්‍රකාශ කරනු ලැබීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මේ සමාජය ලංකාවේ ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට විවෘතයි. අධික වර්ෂාවෙන් මෙවර අපේ තරගාවලියට බාධා ඇති වුනත්, තරගාවලිය සාර්ථකව මේ වසරේදිත් පවත්වන්නට අපිට හැකියාව ලැබුණා.” යැයි ප්‍රකාශ කර සිටියේය.

කාණ්ඩගත දක්ශතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් –

වයස අවුරුදු 14න් පහළ

  • බාලක – කවීන් කෞශාන් (දුර පැනීම)
  • බාලිකා – චතුරි මදුබාශිනී (දුර පැනීම)

වයස අවුරුදු 16න් පහළ

  • බාලක – චාරූ අධීප (මීටර 400 ධාවන)
  • බාලිකා -හිමාශී ප්‍රනාන්දු (මීටර 100 ධාවන)

වයස අවුරුදු 18න් පහළ

  • බාලක – ඉසුරු ලක්ෂාන් (මීටර 800 ධාවන)
  • බාලිකා – තාරකා දිව්‍යාංජලී (මීටර 100 ධාවන)

වයස  අවුරුදු 20න් පහළ

  • බාලක – සචින් පෙරේරා (මීටර 200 ධාවන)
  • බාලිකා- රෝශිනී සුභද්දා (දුර පැනීම)

විවෘත

  • පිරිමි- යසිරු සමෝද්‍ය (මීටර 100 ධාවන)
  • කාන්තා – එම්.එච්.එම්.ප්‍රියදර්ශිනි (තුන් පිම්ම)

“අපි වගේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ  තරගාවලිය විශාල මගපෙන්වීමක්, අත්වැලක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක මලල ක්‍රීඩාව පැත්තෙන් මේ වගේ  පහළ මට්ටමේ සිටින අපි වගේ ක්‍රීඩකයන්ට අත් දීමක් මේ තරගාවලිය සංවිධානයෙන් සිදු වෙනවා. මගේ බලාපොරොත්තුවක් තියනවා ජාතික තරගාවලියක් නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙනෙන්න.” යැයි කැලණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලබා ගත් ඊ. එච්. එම්. ප්‍රියදර්ශිනී ප්‍රකාශ කළාය.

ප්‍රතිඵල සටහන –

වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම –

  • රන් පදක්කම – ඉමේශා ප්‍රසාදිනී (මීටර 18.02)
  • රිදී පදක්කම – යුවනි අමල්ශා (මීටර 13.38)

වයස අවුරුදු 16න් පහළ මීටර 1500 ධාවන

  • රන් පදක්කම – ධනංජය දර්ශණ (මිනිත්තු 04:47:05)
  • රිදී පදක්කම – සෙනුක් කාවිංගා (මිනිත්තු 04:48.08)
  • ලෝකඩ පදක්කම – අවිශ්කා පැහැසාරා (මිනිත්තු  04:53.01)

වයස අවුරුදු 16න් පහළ තුන් පිම්ම

  • රන් පදක්කම – යශෝදා තේජානී (මීටර 06.06)
  • රිදී පදක්කම –  ගනීශා සදෙව්මිනි (මීටර 05.02)

වයස අවුරුදු 18න් පහළ කවපෙත්ත විසි කිරීම –

  • රන් පදකක්ම -මලිදු හිමන්ශෝ (මීටර 19.98)
  • රිදී පදක්කම- යෙශාන් ප්‍රනාන්දු (මීටර 15.70)

වයස අවුරුදු 18න් පහළ මීටර 800

  • රන් පදක්කම – පී. ඒ. ඉදුවර ලක්ශාන් (මිනිත්තු 02:00.01)
  • රිදී පදක්කම – තාරක දිල්ශාන් (මිනිත්තු 02:10.0)
  • ලෝකඩ පදක්කම – සමන්ත සමේශ් (මිනිත්තු 02:24.0)

වයස අවුරුදු 20න් පහළ බාලක මීටර 1500 –

  • රන් පදක්කම – එම්. එස්. ප්‍රියන්ජන (මිනිත්තු 04;13.5)
  • රිදී පදක්කම – වයි. ආර්. ඉරුශාන් (මිනිත්තු 04:18.04)
  • ලෝකඩ පදක්කම – රුවන් කුමාර (මිනිත්තු 04:18.6)

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට