තරිඳුගේ මංගල පළමු පෙළ ශතකයෙන් ශ්‍රී ලංකා ගෞරවය සුරැකේ

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

659

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තෙවැනි සහ අවසන් සිව්දින තරගය ඊයේ (23) ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව සිව්දින තරග 3කින් සමන්විත වුනු තරගාවලියේ තරග සියල්ලම අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (23) දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 372ට පිළිතුරු දෙමින් සිටි Surrey කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 482ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 110ක් ඉදිරියෙන් සිටිමින්.

දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දුවාර 10 ඇතුළත Surrey පළමු ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 74ක් තුල දවා ගැනීමට වේගපන්දු යවන අම්ෂි ද සිල්වා සහ වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ සමත් වුනා.

ඒ අනුව 19 හැවිරිදි වෙල්ලාලගේ සිය කෙටි පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල කඩුලු 5 අවස්ථාව සාර්ථක කර ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම ප්‍රදර්ශනය කළා.

ලකුණු 184ක පළමු ඉනිමේ දැවැන්ත අවාසියක් සහ පීඩනයක් සමඟ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළා.

ලසිත් කෘස්පුල්ලේ සහ අවිශ්ක පෙරේරා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා. ලසිත් කෘස්පුල්ලේ සහ අවිශ්ක පෙරේරා පිළිවෙළින් ලකුණු 49ක් සහ ලකුණු 18ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු කිහිපයක් අවම ලකුණු ප්‍රමාණයක් තුල බිඳ වැටුණු පසුබිමක පළමු ඉනිමේ ශතකයක් ලබා ගත් නායක නිපුන් ධනංජය සමඟ එක්වුණු අවිශ්ක තරිඳු 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 177ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.

ධනංජය 4 පහර 6ක් සමඟින් ලකුණු 81කට දැවී ගිය අතර තරගය අවසන් වන විට සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් මංගල ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 103*ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 14කින් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. අවසානයේ දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

  • ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 372/9d (102): නිපුන් ධනංජය 150*, අවිශ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, Tom Lawes 3/34, Amar Virdi 2/45.
  • Surrey ප්‍රාන්ත පළමු ඉනිම – 556 (164.3): Ryan Patel 126, Ben Geddes 104, Gus Atkinson 91, Nico Reifer 68, Jamie Smith 45, දුනිත් වෙල්ලාලගේ 5/143, නුවනිඳු ප්‍රනාන්දු 2/78, අම්ෂි ද සිල්වා 2/124.
  • ශ්‍රී ලංකා නැගී එන දෙවැනි ඉනිම – අවිශ්ක තරිඳු 103*, නිපුන් ධනංජය 81, ලසිත් කෘස්පුල්ලේ 49, Brett Hutton 2/32, Gus Atkinson 2/32.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහභාගී වන තවත් විස්සයි විස්ස තරග 3ක තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියේ උණුසුම ද ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<