ඕස්ට්‍රේලියානු පුහුණුකරු අර්බුදය තවත් උග්‍ර වෙයි

2191

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු Justin Langer පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Kevin Pietersen පවසා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාව දැන් කෙමෙන් කෙමෙන් පාපන්දු ක්‍රීඩාවේ ව්‍යාපාරික ලක්ෂණවලට ආසන්න වන බවයි.

පසුගිය සෙනසුරාදා (5) Langer සිය ඉල්ලා අස්වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර තිබුණා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ ඔවුන් Langerට තවත් ටික කාලයක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කළ නමුත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Pietersen පවසා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේත් පුහුණුකරුවන්ට වඩා ක්‍රීඩකයින් බලවත් වෙමින් පවතින බවයි. “Langer ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වුනා. ක්‍රිකට් ක්‍රීඩාවත් කෙමෙන් කෙමෙන් පාපන්දු ක්‍රීඩාව බවට පත් වෙනවා. ක්‍රීඩකයින් දැන් ධනවත් වගේම බලවත් වෙනවා”, Pietersen Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණා.

මේ අතර Langerගේ ආරම්භක පිතිකරු සහයකයා වුණු Matthew Hayden ද සිය මිත්‍රයා වෙනුවෙන් සටහනක් තබා තිබුණා. ඔහු පවසා තිබුණේ කිසිවෙකු Langer හට සහය ලබා නොදුන් බවයි.

Langerගේ පුහුණුකාරිත්වය යටතේ ඕස්ට්‍රේලියාව 2021 විස්සයි විස්ස ලෝක කුසලානය මෙන්ම 4-0ක් ලෙස අළුබඳුන කුසලානය ද දිනා ගත්තා. එසේ වුනත් මාස ගණනක්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඔහුගේ පුහුණු කිරීමේ විලාසය පිළිබඳව පැමිණිලි කර තිබුණා.

“කවුරුත් ඔහුට සහය දුන්නේ නැහැ කියන එක පැහැදිලියි”, Hayden, ABC Radio ආයතනය හමුවේ පවසා තිබුණා.

“ඔබ බැලුවොත් දැනට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු නායකයා කතා කරපු විදිය, පුහුණුකරු ගැන මතක් කිරීමක්වත් පුහුණුකරුට සහයක්වත් ඔහුගේ කතාවේ තිබුණේ නැහැ. එය හරිම වේදනාකාරී වෙන්න ඇති.”

මේ අතර Hayden, ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක Pat Cummins ට ද දෝෂාරෝපණයක් එල්ල කර සිටියා. ඒ ඉහළ දස්කම් කළමනාකරණයේ දී Langer ගේ සුදුසුකම් Cummins ප්‍රශ්න කළ බව පවසමින්.

Times of India හා Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<