ඉන්දීය නව පුහුණුකරු ගැන Kohli කතා කරයි

1302

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස එක්වූ Rahul Dravid සමඟින් කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය නායක Virat Kohli ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

පුහුණුකරු ලෙස එක්වීමෙන් අනතුරුව Rahul Dravidගේ  පළමු අභියෝගය ලෙස මේ දිනවල පැවැත්වෙන ඉන්දීය නවසීලන්ත විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලිය පැවැත්වුනා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුනා. නවසීලන්තය මෙම තරගාවලිය සඳහා එක්වුනේ වත්මන් ලෝක ටෙස්ට් ශූරයන් ලෙස වීම විශේෂත්වයක්.

ඉන්දියාව නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉන්දීය නායක Virat Kohli සිය නව පුහුණුකරු වන Rahul Dravid පිළිබඳව අදහස් දක්වා සිටියා.

ඉන්දියාව දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තය ලකුණු 372කින් පරාජය කිරීමට සමත් වුනා. නවසීලන්ත තරගාවලියේ මුල් තරග සඳහා Virat Kohli විවේක ගන්වා සිටි අතර රෝහිත් ෂර්මා සහ අජින්ක්‍යා රහානේ කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටියා. මේ හේතුවෙන් Kohli සහ Dravid එකිනෙකා සමඟ කටයුතු කළ පළමු අවස්ථාව මෙය වුනා.

හිටපු පුහුණුකරු රවී ශාස්ත්‍රි සහ Kohli අතර පැවති සම්බන්ධතාවය ඵලදායි එකක් වූ අතර ඔවුන් දෙදෙනා කණ්ඩායම භාරව සිටි කාලය තුළ විශාල මිත්‍රත්වයක් සහ සුහදතාවක් ගෙඩනඟාගෙන සිටියා.

2017 වසරේ දී Kohli සහ තවත් හිටපු ඉන්දීය පුහුණුකරුවෙකු වන අනිල් කුම්බ්ලේ අතර ඇතිව තිබූ ගැටුම නිසා Dravid සහ Virat අතර සම්බන්ධතාවය පිළිබඳව බොහෝ දෙනා සිය අවධානය යොමු කර තිබෙනවා.

අපි හැමෝම සේවය කරන්නේ ඉන්දීය ක්‍රිකට් වලට. කලින් කළමනාකාරිත්වය විශිෂ්ට කාර්යයක් ඉටු කළා. දැන් Rahul Dravid ඇවිල්ලා තියනවා. ඔහුගේ පැමිණීමත් සමඟ අපේ මානසිකත්වය වෙනස් වුනේ නැහැ. ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාමට, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතීන් තබා ගැනීමට සහ එය සැමවිටම වර්ධනය වන බවට වගබලා ගැනීම තමයි වැදගත් වෙන්නේ”, දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව Kohli පවසා සිටියා.

සති තුනකට ආසන්න කාලයකින් ආරම්භ වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය පිළිබඳව ද Kohli අදහස් දක්වා සිටියා. 2018 වසරේ මුල් භාගයේ දී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළ අතර එය ඉන්දීය කණ්ඩායම එතෙර දී වාර්තා කළ ප්‍රබල ජයග්‍රහණයක් ලෙස සටහන් වුනා.

එතැන් සිට ඕස්ට්‍රේලියාවේ දී පිට පිටම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කරමින් මෙන්ම එංගලන්තයේ දී ප්‍රශංසනීය දස්කම් දක්වමින් ඉන්දියාව විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වුනා. මේ පිළිබඳව අදහස් දක්වමින් Kohli පිළිගත්තේ තමාට පැවරී ඇති කාර්යය දුෂ්කර වනු ඇති නමුත් එය ක්‍රීඩකයින් තුළ හොඳම දේ ගෙන එනු ඇතැයි තමා විශ්වාස කරන දෙයක් බවයි.

දකුණු අප්‍රිකාවේ හොඳ අභියෝගයක් තියේවි. දකුණු අප්‍රිකාව විදෙස් රටවල අපේ දස්කම් ගොඩනැගීමේ ආරම්භය වුනා. ඕස්ට්‍රේලියාවේ අපි ලබාගත්ත ජයග්‍රහණ ඒකේ ප්‍රතිඵල වුනා. අපට ඕනෑම තැනක ජයග්‍රහණය කළ හැකියි කියලා අපිට විශ්වාසයක් තියනවා. ඒක දැඩි අභියෝගයක්. ඒත් අපි ඒක සාර්ථක කරගන්න ඕනේ දෙයක්. සියලු දෙනාම ඒකට ලොකු අධිෂ්ඨානයකින් ඉන්නවා”, ඉන්දීය නායකයා වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග හතරක් ඇතුළත් වනවා. තරගාවලිය එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<