මහනුවර ක්‍රීඩකයින්ට ජාතික සංචිතයට වරම් අහිමි වන ලකුණු!

703

ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවැත්වීමට නියමිත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග කිරීමට අවස්ථාව ඉල්ලූ මහනුවර කණ්ඩායමේ යෝජනාව සංවිධායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සංවිධානය කරන මෙම ආරාධිත රග්බි තරගාවලිය ඔක්තෝබර් 30 සහ 31 දිනවල දී ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සංවිධාන කටයුතු ආරම්භයේ දී ම මහනුවර සහ CR&FC කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබුණේ එම කණ්ඩායම්වල මූල්‍ය ගැටලු සහ ක්‍රීඩකයින් වසරකට අධික කාලයක් පුහුණුවීම්වල නොයේදීමත් හේතු ලෙස දක්වමිනුයි.

නමුත්, මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් ඒ්කාබද්ධ කණ්ඩායමක් ලෙස තරගාවලියට පිවිසීම සඳහා අවස්ථාවක් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියා. ඒ් මෙම ආරාධිත තරගාවලිය මේ වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් නම් කිරීමත් සමඟයි.

කෙසේ නමුත්, සංවිධායකයින් විසින් පවසා සිටියේ තරගාවලියට ඒ්කාබද්ධ කණ්ඩායම් සහභාගී කර නොගන්නා බවත්, පළමු කාණ්ඩයේ සිටින කණ්ඩායම් පමණක් තරගාවලියට සහභාගී කරගන්නා බවත්ය.

මෙම තීරණයත් සමඟින් ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයින් වන දනුෂ් දයාන් (නායක), කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ජේසන් දිසානායක සහ තරින්ද රත්වත්තේ යන ක්‍රීඩකයින්ට මෙවර ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි ව යනවා.

මෙම ආරාධිත සත් සාමාජික තරගාවලිය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, හැව්ලොක් සහ CH&FC යන කණ්ඩායම් 6 සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජාතික සංචිතය සඳහා තෝරාගනු ඇත.

ආසියා සත් සාමාජික තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 19 සහ 20 දිනවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<