විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

13333
©newsapi.com.au

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිම ලෙසටම තරගය එංගලන්තය දෙසට බර වන්නට තවත් එක් හේතුවක් වූයේ විනිසුරු තීරණයි. මෙනිසා  තරගාවලියේ තෙවැනි තරගයට පිටියේ විනිසුරුවන් වශයෙන් සහභාගී වූ ජොයෙල් විල්සන් සහ ක්‍රිස් ගැෆ්නි යන විනිසුරුවන් දෙදෙනාව මීළඟ තරග දෙකෙන් එකකට හෝ යොදා නොගැනීමට තීරණය වී තිබෙනවා.

©Zimbio – විනිසුරු ක්‍රිස් ගැෆ්නි, එංගලන්ත නායක ජෝ රූට් සමඟින් සංවාදයක.

තරගය තුළ දී බෙන් ස්ටෝක්ස් විසින් කඩුල්ල මුවා නොකළ බවට ලබා දුන් තීරණාත්මක විනිසුරු නිගමනය ඇතුළුව විනිසුරුකරණයේ වැරදි කිහිපයක්ම කොදෙව් විනිසුරු ජොයෙල් විල්සන් අතින් සිදු වුනා. නවසීලන්ත විනිසුරු ක්‍රිස් ගැෆ්නි අතින් තරගය තුළ දී වැරදි තීරණ 7ක් වාර්තා වී තිබුණා.

අවුට් වෙන්නේ කොහොමද?

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී දැවී යා හැකි ක්‍රම 10

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය තුළ දී ද ජොයෙල් විල්සන් අතින් වාර්තාගත විනිසුරුකරණයේ වැරදි 8ක් සිදුව තිබුණා. පසුගිය තරගයේ දී ජයග්‍රහණයට ලකුණු දෙකක් පමණක් පිටුපසින් සිටිය දී නේදන් ලයන් යැවූ පන්දුවක් බෙන් ස්ටෝක්ස්ගේ පා ආවරණයේ වැදුණු අතර ඉල්ලීමක් කළත් විනිසුරු විසින් සංඥා කළේ එය දැවී නොයාමක් වශයෙන්. එහෙත් පුනරූපන නැරඹීමේ දී එය දැවී යාමක් බව තහවුරු වුනා. එහෙත් ඒ වන විටත් විනිසුරු තීරණ නැවත විමසීමේ සියලු අවස්ථාවන් ඕස්ට්‍රේලියානු නායක ටීම් පේන් විසින් අවසන් කොටගෙන තිබුණා.

මීළඟට ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගය සඳහා නවතම නම් දෙකක් යෝජනා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ රුචිර පල්ලියගුරුගේ සහ දකුණු අප්‍රිකාවේ මරායේ එරාස්මස් යන නම් දෙකයි. තෙවැනි විනිසුරු ලෙස කුමාර් ධර්මසේන සේවය කරනු ඇති.

විනිසුරුකරණය එතරම් පහසු කටයුත්තක් නොවන බව අප සියලු දෙනාම දන්නා කරුණක්. එහෙත් මෙය, තීරණාත්මක තරගයක දී ලබාදෙන විනිසුරු තීරණ මඟින් තරගයේ සමස්ත තීරණයට වන බලපෑම ගැන අවබෝධ කොටගෙන, විනිසුරුවන් විසින් නූතන ක්‍රිකට් විනිසුරුකරණය අධ්‍යයනය කළ යුතු කාලයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<