රූට්ගේ පිත්ත කෙළින් සිටගනියි

New Zealand tour of England 2022

17149
Indian Express

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරයේ පළමු තරගය පුවත් මවමින් අවසන් වුනා. එහි දී වාර්තා වූ විශේෂ සිද්ධියක් වන්නේ ජෝ රූට් ශතකය පසුකිරීමට පෙර ඔහුගේ පිත්ත තණතීරුව මත කෙළින් සිටවා තිබෙන ආකාරයයි.

මේ ගැන කතාබහක් ඇතිව තිබෙන්නේ තරගයේ වීඩියෝවක් Twitter හි ජනප්‍රිය වීමත් සමඟයි. Indian Express වැනි මාධ්‍ය ද මේ බව වාර්තා කොට තිබුණා.

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී සබඳතාවය පැවැත්වූ ජෝ රූට් සහ බෙන් ෆෝක්ස් නොදැවුණු ලකුණු 120ක සබඳතාවයක් පැවැත්වූවා. එහි දී ජෝ රූට් ශතකයක් රැස්කළා. කෙසේ වෙතත් වඩාත් කතාබහට ලක්වන මෙම වීඩියෝව සහ ඡායාරූපයෙන් පෙන්නුම් වන්නේ රූට් ලකුණු 87ක් ලබා සිටි අවස්ථාවේ සිදු වූ සිද්ධියක්.

Indian Express

පන්දු යවමින් සිටියේ කයිල් ජේමිසන්. ජෝ රූට් ක්‍රියාකාරී පිතිකරුට ප්‍රති-අන්තයේ සිටගෙන සිටියා. එහි දී ඔහු ඔහුගේ පිත්ත අතින් අල්ලා සිටිනවා වෙනුවට තණතීරුව මත සිටවා තබා තිබුණා. බොහෝ ප්‍රේක්ෂකයන්ට එය අළුත් අත්දැකීමක් වුනා.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු බොහෝ දෙනා Twitter හි අදහස් පළකොට තිබුණේ එය ජෝ රූට්ගේ පිත්තේ සමබරතාවයට කදිම උදාහරණයක් බවයි. පිත්තේ යට කොටස කෙළින් පැතලි ආකාරයට කපා තිබීම මඟින් ඊට ඒ සමබරතාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. රූට්ගේ ලකුණු රැස්කිරීම ඉහළින් තිබීමට එය හේතුවක්ව ඇතැයි කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් තාක්ෂණය යොදාගැනීම අතින් ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් ඉදිරියට ගොස් තිබෙනවා. ඒ අනුව ධනවත් රටවල් වල ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනස් තාක්ෂණයන් තම ක්‍රිකට් ආම්පන්න වලට යොදාගැනීම සිදු වෙමින් පවතිනවා.

ඩෙනිස් ලිලී ලෝහ පිත්තක් රැගෙන පිටියට පැමිණි අවස්ථාවක් තිබුණා. කපිල් දේව්ගේ පිත්තේ උරහිස් දෙක “V” හැඩයට කපා තිබුණා. රිකී පොන්ටින් ලෝහමය තීන්ත ආවරණයක් ඇති පිත්තක් භාවිතා කළා. මැතිව් හේඩන් අඩි තුනක් පමණ උස මොන්ගූස් පිත්තක් භාවිතා කළා. ශ්‍රී ලංකාවේ කෞෂාල් සිල්වා සහ ලොව උසින් අඩු බොහෝ පිතිකරුවන් ද පිත්ත කප්පාදු කොට සකස් කරගෙන තිබුණා.

ඒ සියලු පිති අතර ජෝ රූට්ගේ පිත්ත තණතීරුව  සිටගැනීම ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක්. කලාකාමී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවසන්නේ ඔහුගේ පිත්ත මායාකාර පිත්තක් බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<