2017 පාසල් මහා ක්‍රිකට් තරග වසන්තය ආරම්භ වන්නට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයකි. ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේ ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාව කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන මහා ක්‍රිකට් තරග (Big Matches), බාල, තරුණ, මහළු සියලු වයස් කාණ්ඩවල ශ්‍රී ලාංකිකයන් විසින් රස විඳින, කාන්තා/පිරිමි භේදයක් තොරව ආකර්ෂණය දිනා ගත් වාර්ෂික සැණකෙළියකි.

ශ්‍රී ලංකාවටම ආවේණික මහා ක්‍රිකට් තරග ඉතිහාසය වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. මෙරට විසූ එංගලන්ත ජාතිකයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩාව, පාසල් තුළ ප්‍රචලිත කරවනු ලැබුවේ ද ඔවුන් විසිනි. ලෝක ක්‍රිකට් මං පෙතේ ශ්‍රී ලංකා නාමය දිදුලවන මහා ක්‍රිකට් තරග, දිගු ඉතිහාසයක් තුළ අමතක නොවන තරග නිර්මාණය කරමින්, මිතුරු මිතුරියන් එක් වන තෝතැන්නක් වෙමින්, ශ්‍රී ලාංකික හදවත් එක් කරමින්, එමෙන්ම ලක් පොළොවට ක්‍රිකට් පුතුන් බිහි කරමින් නොනැවතී ඉදිරියට ඇදී යන්නේ, ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අලංකාර වේදිකාවක් තනා දෙමිනි.

Roy tho fan photo

අළු බඳුන ක්‍රිකට් තරගාවලිය සහ එංගලන්ත විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරග යනාදී ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලිවලට පවා පෙර ඇරඹුණු ශ්‍රී ලාංකික මහා ක්‍රිකට් තරග වංශ කතාවේ දැවැන්ත තරගාවලි 10 මෙසේ හඳුනා ගනිමු.

(සියලු දත්තයන් 2016 වර්ෂ අවසානය දක්වා සිදු කළ ගණනයන් බව සලකන්න.)

10 මොරටු රන් මහා සටන (Battle of the golds).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 66.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත්, සාන්ත සෙබස්තියන් විද්‍යාලයත් අතර පැවැත්වෙන “මොරටු රන් සටන”, 1933 වර්ෂයේ ආරම්භ වී මේ දක්වා ක්‍රියාත්මක වන මහා ක්‍රිකට් තරගාවලියකි. 1938 සිට 1953 දක්වා සහ 1969, 1970 යන වර්ෂවල දී තරගය නොපැවැත්වීම හේතුවෙන්, මේ දක්වා පැවැත්වුණු තරග ප්‍රමාණය අඩුවූවත් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ පැරණිතම තරග අතර දස වන ස්ථානය ඔවුන්ට හිමි වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් රොමේෂ් කළුවිතාරණ, සජීව ද සිල්වා, ප්‍රසන්න ජයවර්ධන සහ අමිල අපෝන්සු යන ක්‍රීඩකයන් බිහි කරන ලද්දේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි. සෝමචන්ද්‍ර ද සිල්වා, ලහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස්, වේල්ස් කුමර විද්‍යාලයේ නිෂ්පාදනයන් වේ. මෙවර පැවැත්වෙන්නේ තරග ඉතිහාසයේ 67 වන සටනයි. තරගය මාර්තු 10/11 දිනවල දී පැවැත්වේ.

Battle of the golds


09 සාන්තුවරුන්ගේ සටන (Battle of the saints).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 82

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත්, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් තම අභිමානය වෙනුවෙන් සටන් වදින්නේ මෙහි දීයි. 1933දී ආරම්භ වූ මෙම තරගාවලිය ආරම්භ වී වසරක් තුළ විශේෂිත ඉනිමක් වාර්තා විය. එනම් 1934 වසරේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ගේ කඩුලු 8ක් ලකුණු 143ක් තුළ දී දවාලූ පීතරයින්ට ඉනිම නිමා කිරීම සඳහා තවත් කඩුලු 2ක් පමණක් අවශ්‍යව තිබුණි.

නමුත් ජෝසප් කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් නොබියව සටන් වැදුණු ෆ්‍රෙඩ් පෙරේරා සහ ඩේවිඩ් ආර්න්ඩ්, නව වැනි කඩුල්ල සඳහා තරගය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 219ක සබඳතාවක් ගොඩනැගූ අතර එය මේ වන තෙක් නොබිඳුණු වාර්තාවකි.

රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආර්නෝල්ඩ්, ඇන්ජලෝ පෙරේරා වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට බිහි කරන ලද්දේ සාන්ත පීතර විදුහලයි. වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දිමුත් කරුණාරත්න සහ තිසර පෙරේරා වැනි ජාතික ක්‍රීඩකයන් මෙරටට බිහි කළේ සාන්ත ජෝසප් විදුහලයි. ඉතිහාසයේ 83 වන ගැටුම මාර්තු 03/04 දිනවලදී  පැවැත්වේ.Joe Pete


08 සුලෝහිත සටන (Battle of the maroons).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 87

මරදාන පිහිටි ආනන්ද විද්‍යාලයත්, නාලන්ද විද්‍යාලයත් එක් කුසලානයක් වෙනුවෙන් සටන් වදින මෙම තරගාවලිය ආරම්භ වී ඇත්තේ 1924 වර්ෂයේදීය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් නිෂ්පාදනය කර දුන් විදුහල් ද්විත්වය වීමේ අභිමානය පවතින්නේ මේ පාසල් දෙක සතුවයි.

1943, 1944, 1945 යන වර්ෂ වලදී තරගය පවත්වන්නට නොහැකි වී ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙනි. දෙපිලේම නායකයන් නිදහස් සටනට සහභාගී වීම හේතුවෙන් 1948 වර්ෂයේ දී තරගය නොපැවැත්විණ.

ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, තිලාන් සමරවීර, තිලිණ කණ්ඩම්බි සහ දිනේෂ් චන්දිමාල් යනු ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පමණි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, කුමාර ධර්මසේන, මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන්, නාලන්දාවෙන් බිහි වී ලොව ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ය.

මේ වසරේ මහා ක්‍රිකට් සටනේ දී දෙපිල හමුවන්නේ 88 වැනි වරටයි. තරගය මාර්තු 04/05 දිනවල දී පැවැත්වේ.Battle of the maroons


07 යාපනේ රන් මහා සටන (Jaffna battle of the golds).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 99

1917 වර්ෂයේ දී ඇරඹි මෙම තරගාවලිය ද උතුරු පළාතේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන සාන්ත පැට්‍රික් විද්‍යාලය සහ යාපනේ විද්‍යාලය අතර පැවැත්වෙන්නකි. කොතෙකුත් බාධා පැමිණිය ද මෙම තරගාවලිය කිසිදු වර්ෂයක දී අත්හිටුවා නැත. එබැවින් “උතුරු මහා සටනට” වසර 13කට පසුව ඇරඹුණත් “යාපනේ රන් මහා සටන” 99 වතාවක් පවත්වා ඇත.

දක්ෂතාවන් අතින් උතුරේ ක්‍රීඩකයන් ද යහපත් මට්ටමක පසු වන නමුත් උක්ත පාසල් දෙකේ ක්‍රීඩකයන්ගෙන් නම ගිය ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා නැත. මහා තරග ශතවර්ෂය මේ වසරේ දී සැමරීමට දෙපිලට වාසනාව ලැබී තිබේ.

Thora cycle parade
සාන්ත තෝමස් පාපැදි සවාරිය 2016

06 මහනුවර නිල් මහා සටන (Kandy battle of the blues).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 99

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සටන් වදින “මහනුවර නිල් මහා සටන” ආරම්භ වී ඇත්තේ 1914 වර්ෂයේ සිටයි. දිවයිනේ ප්‍රකට පාසල් දෙකක් වන උක්ත පාසල් ද්විත්වය තුළින් බිහි වී ඇති මෙරට පුරෝගාමීන් ගැන අමුතුවෙන් කතා කළ යුතු නොවේ. 1916, 1956 සහ 1957 යන වර්ෂවල දී තරගය නොපැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහි වූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සංගක්කාර වන අතර ඔහුට පසෙකින් කෞෂල්‍ය වීරරත්න, සචිත් පතිරණ, ලහිරු කුමාර යන ක්‍රීඩකයන් ද ත්‍රිත්ව විද්‍යාලයෙන් මෙරටට බිහි කළ ක්‍රිකට් ක්‍රීඩකයන් වේ. ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී මුත්තයියා මුරලිදරන්, ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනමන්නේ මහනුවර සාන්ත අන්තෝනි විදුහලයි. ඔහුට අමතරව මහේෂ් ගුණතිලක, රුවන් කල්පගේ, පියල් විජේතුංග යන අයද අන්තෝනියෙන් මෙරටට දායාද කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ය.

“මහනුවර නිල් මහා සටනේ” අභිමානවත් ශතවර්ෂ පූර්ණය මේ වසරට යෙදී ඇත. එය මාර්තු 10/11 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

Hill country battle


05 උතුරු මහා සටන (Battle of north).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 110

ශ්‍රී ලංකාවේ උතුරු පළාත නියෝජනය කරන යාපනය මධ්‍ය මහා විද්‍යාලයත්, යාපනය සාන්ත ජෝන් විද්‍යාලයත් එකට ගැටෙන “උතුරු මහා සටන” පැරණිතම මහා ක්‍රිකට් තරග ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමි කරගෙන ඇත. වර්ෂ 11කදී තරගය පැවැත්වීම අත්හිටුවා ඇත්තේ නොවැලැක්විය හැකි හේතූන් නිසා පමණි.1904 වර්ෂයේ දී ආරම්භ වී ඇති මෙය නොයෙක් කම්කටොළු මැද ඉදිරියට ගලා යයි.

දෙපිලෙන් ජාතික කණ්ඩායම වෙනුවෙන් තේරී පත් වූ ක්‍රීඩකයන් හඳුනා ගැනීම මඳක් අපහසු වූවත්, උතුරු පළාතේ ක්‍රිකට්ලෝලීන් හට ඉතිහාස ගත අත්දැකීමක් හිමිකර දෙන මෙම තරගාවලිය මෙතෙක් දුර පැමිණීමම ප්‍රශංසනීයයි. උතුරු මහා සටනේ 111වන අදියර මේ වසරේ මාර්තු 09/10/11 දිනවල දී පැවැත්වීමට නියමිතයි.

Kids enjoying


04 මහනුවර සුලෝහිත සටන (Kandy battle of the maroons).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 110

1893 වර්ෂයේ පටන් පැවත එන දීර්ඝ ඉතිහාසයක් මේ තරගාවලියට හිමිය. ඉතිහාසය තුළ වරින් වර වසර 13ක් තරගය නොපවත්වා ඇති අතර එසේ නොවූයේ නම් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය “මහනුවර සුලෝහිත සටන” සතුවන්නට තිබිණි. මේ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයත්, මහනුවර ධර්මරාජ විද්‍යාලයත් සටන් වදින මහා තරගයයි. ප්‍රථම තරගය පවත්වා ඇති බෝගම්බර ක්‍රීඩාංගණය, මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නොවේ.

ප්‍රථම තරග කිහිපයේ දී ගුරු මණ්ඩලයෙන් කිහිපදෙනෙකුද කණ්ඩායම් වල ක්‍රීඩා කොට ඇති අතර පළමු වරට සිසුන් පමණක් යොදා ගනිමින් තරගය පවත්වා ඇත්තේ 1899 වසරේදීයි.

චාමර කපුගෙදර සහ සඳුන් වීරක්කොඩි, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ ධර්මරාජ විද්‍යාලයේ නිෂ්පාදිතයන් වේ. කිංස්වුඩ් විද්‍යාලය, ක්‍රිකට් ක්‍රීඩාවට වඩා සේවයක් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට කර ඇති බව ෆසිල් මර්ජා වැනි ක්‍රීඩකයන් දෙස බැලීමේ දී පැහැදිලි වේ. මෙවර පැවැත්වෙන්නේ දෙපිල අතර 111වන ගැටුමයි. එය මාර්තු 17/18 දිනවල දී පැවැත්වේ.

 

Hill country battle of the maroons


03 ආදරවන්තයන්ගේ සටන (The lovers’ quarrel).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 111

මහා තරග සටන් බිමට වෙනස්ම තේමාවක් රැගෙන එන “ආදරවන්තයන්ගේ සටන” ඇරඹුණේ 1905 වර්ෂයේදීයි. ගාල්ල මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරග ඉතිහාසය තුළ වසර 5කදී තරගය  පවත්වා නැත. එම තරග ද පැවැත්වූවා නම් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිවන්නේ මොවුන්ටයි.

චම්පක රාමනායක, සුරංග ලක්මාල්, චමිල ගමගේ, ධනංජය ද සිල්වා ආදී ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට දායාද වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයෙනි. අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි දක්ෂ ක්‍රිකට් පුතුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වූයේ මහින්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුය. මෙවර පැවැත්වෙන්නේ තරග ඉතිහාසයේ 112වන ගැටුමයි. එය මාර්තු 17/18 දිනවල දී පැවැත්වේ.

Lovers quarrel


02 රුහුණු මහා සටන (Battle of ruhuna).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 116

මාතර සාන්ත තෝමස් විද්‍යාලයත්, මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයත් අතර පැවැත්වෙන “රුහුණු මහා සටන” රුහුණු පුරයට අභිමානයකි. වර්ෂ 1900දී ආරම්භ වූ මෙය කිසිදු වසරක දී අවහිරයකට ලක්වී නැත. ආරම්භයේ දී “නිල්වලා සටන” ලෙස හැඳින්වුණු මෙම තරගාවලිය 1984 වර්ෂයේ සිට “රුහුණු මහා සටන” වශයෙන් හැඳින්වේ.

“වමත් කසකාරයා”, එසේත් නැත්නම් “මාස්ටර් බ්ලාස්ටර් (master-blaster)” නමින් හැඳින්වෙන සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පියමනින්නේ සාන්ත සර්වේෂස් විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වශයෙනි. ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන රුචිර පල්ලියගුරුගේද එහි ආදි ශිෂ්‍යයෙකු වේ. සාන්ත තෝමස් විද්‍යාලයෙන් මෙරටට බිහි වූ සාර්ථකම ක්‍රීඩකයා වන්නේ වේගවත් පිතිකරුවෙකු ලෙස ප්‍රකට ඉන්දික ද සේරම් ය. මේ වසරේදී “රුහුණු මහා සටනේ” 117වැනි ගැටුම ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිගහැරෙනු ඇත. එය මාර්තු 24/25/26 දිනවල දී පැවැත්වේ.

Battle of ruhuna


01 නිල් මහා සටන (Battle of the blues).

පවත්වා ඇති තරග ප්‍රමාණය – 137

මහා ක්‍රිකට් තරග සියල්ලේම පුරෝගාමී තරගය වන්නේ මෙයයි. ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර 1882 වර්ෂයේ දී ඇරඹි අළු බඳුන ක්‍රිකට් තරගාවලියටත් වඩා ඈත අතීතයකට දිවයන “නිල් මහා සටනේ” ආරම්භය සනිටුහන් වන්නේ 1879 වර්ෂයේදීයි. කොළඹ රාජකීය විද්‍යාලයත්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් අතර පැවැත්වෙන ‘සැබෑම මහා ක්‍රිකට් තරගයක්’ වන මෙය මෙතෙක් වසර 137ක් පුරාවට අඛණ්ඩව පවත්වා ඇත.

දෙපිලේම දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්, ක්‍රිකට් ඉතිහාසඥයන්, විචාරකයන් සහ රාජ්‍ය පාලකයින්ගේ පවා අවධානය දිනා ඇති ක්‍රිකට් සැණකෙළියක් වන මෙය දින 3ක් පුරා පැවැත්වෙන්නකි. වසර 137ක් පුරාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් සපයා ඇති රාජකීය-සා. තෝමස් විද්‍යාලවලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එන මෙම තරගය ලෝකයේම ක්‍රිකට් ඉතිහාසයට පෙරගමන් සපයයි.

රාජකීය විද්‍යාලය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දායාද කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ලෙස, හිටපු නායක රංජන් මඩුගල්ලේ, ජෙහාන් මුබාරක්, අශන්ත ඩි මෙල්, රොෂාන් ජුරංපති සහ කුසල් ජනිත් පෙරේරාය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ප්‍රකට වත්මන් පුහුණුකරු ඩේව් වට්මෝර් ද රාජකීය විද්‍යාලයේ නිෂ්පාදනයකි.

සාන්ත තෝමස් විදුහලෙන් දුලිප් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, අනුර තෙන්නකෝන්, ගයි ද අල්විස්, කෞෂාල් සිල්වා ආදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනමා ඇත.

දෙපිල, මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් ගැටෙන 138වැනි අවස්ථාව මේ වසරට යෙදී තිබේ. තරගය පැවැත්වෙන්නේ මාර්තු 09/10/11 යන දිනවලදීයි.

Roy tho cheer

පාසල් ක්‍රිකට් වසන්තය තුළ ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් සියල්ලන්ගේම ආකර්ෂණය දිනා ගත් “පාසල් මහා ක්‍රිකට් තරග” සජීව විකාශයන් සහ පුවත් ආවරණයන් සඳහා රැඳෙන්න, ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<