තෙවන වරටත් ඉශාන් ශූරතාව රැගෙන යයි

330

ශ්‍රී ලංකාවේ එකම රැලික්‍රොස් ඉසව්ව වන 2018 සීගිරිය රැලික්‍රොස් තරගාවලිය ඊයේ (27) සීගිරිය කිබිස්ස ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථකව නිමාවට පත්විය.

කිරුළු බිඳ වැටෙන තරගකාරී සීගිරිය රැලික්‍රොස් තරගාවලිය

ශ්‍රි ලංකාවේ එකම රැලික්‍රොස් (Rallycross) තරගාවලිය වන සීගිරිය රැලික්‍රොස් තරගාවලිය එළඹෙන…

වරින් වර ඇදහැළුණු පොද වැස්ස මධ්‍යයේ වුවත් ඉතා උණුසුම් ලෙස තරගාවලිය පැවැත්වුණු අතර පොද වැස්ස තරග සංවිධායකයින්ට මෙන්ම ක්‍රීඩකයින්ට ද සහනයක් වෙමින් දූවිල්ල ඇවිස්සීමට නොදී වරින්වර පිටිය තෙත් කරන්නට විය. දූවිල්ල සහිත ධාවන පථයක් ලෙස සීගිරිය ප්‍රසිද්ධ නමුත් වැහි පොද විසින් ඉතා හොඳ ධාවන පථයක් නිර්මාණය කර දී තිබුණි.

Mx250cc ඉසව්වේ වත්මන් ජාතික ශූරයා වන ඉශාන් දසනායක පිට පිට තෙවන වරටත් සීගිරිය ධාවන පථය සියතට ගැනීමට සමත් වූ අතර ඒ සමඟින් පසුගිය වසරේ දිනා ගත් හොඳම යතුරුපැදි ධාවකයා කුසලානය මෙවරත් හිමි කර ගැනීමට ඔහු සමත් විය.

සිය නව TVS 2018 RTR යොදා ගනිමින් ඉශාන් Mx250cc ඉසව්වට සහභාගී වූ අතර පළමු වට කිහිපයේ බුද්ධික සිල්වාගෙන් එල්ල වූ පීඩනය මැනවින් දරා ගනිමින් කෙමෙන් කෙමෙන් සිය පරතරය වැඩි කර ගනිමින් ඉශාන් පළමුවැනියා ලෙස ජයග්‍රාහි සීමාව ඉක්මවා යෑමට සමත් විය. අවාසනාවන්ත ලෙස බුද්ධික සිල්වා හට අනතුරක් සිදුවීම නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු විය.

2018 විජයබා මොටෝක්‍රොස් නවමු වෙනසකින්

ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ශ්‍රී ලංකාවේ…

දෙවන තරගයේ දී ඉශාන් පසු කළ ඉවෝන් ගුරුසිංහ ධාවන පථය උඩු යටිකුරු කරමින් ඉෂාන්ට ප්‍රබල තරගයක් ලබා දුන් අතර වට අටක් පුරා ඉශාන්ව තමන්ගේ පිටුපසින් රඳවා ධාවනයේ නිරත වීමට ඉවෝන් සමත් විය.

පළමු තරගය නිමා කිරීමට ඉවෝන් සමත් නොවුනත් දෙවන තරගයේ දී කැපී පෙනෙන දස්කම් පෙන්වන්නට ඔහු සමත් විය. වයස 16න් පහළ කාණ්ඩයේ ක්‍රීඩකයින් ද විවෘත තරග ඉසව්වට ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර යොවුන් ක්‍රීඩක විනුෂ්ක සිල්වා පස්වැනි හා හතරවැනි ස්ථාන දිනා ගනිමින් ජයග්‍රාහකයින් අතරට පිවිසීමට සමත් විය.

තේරීම් තරග ඉසව්වලින් පළමුවැනියා ලෙස තරගය ආරම්භ කිරීමට වරම් හිමි කර ගත් අශාන් සිල්වා නැවත වරක් තමන් දිවයිනේ ප්‍රමුඛතම ධාවකයා බව ඔප්පු කරමින් SLGT ඉසව්වේ තරග දෙකම ජය ගැනීමට සමත් විය.

අශාන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ කුෂාන් පිරිස් පළමු තරගයේ දී දෙවන ස්ථානය දිනා ගත් නමුත් දෙවන තරගයේ දී කුෂාන්ව තෙවන ස්ථානයට ඇද දමමින් මිස්සක නවීන් දෙවන ස්ථානයට තරගය නිමා කිරීමට සමත් විය.

කෙසේ වුවත් 1618cc දක්වා වූ SLH කාණ්ඩයේ පැහැදිලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට කුෂාන් සමත් වූ අතර ෆෝර්ඩ් ලේසර්/මැස්ඩා 1500cc කාණ්ඩයේ ද ජයග්‍රහණය වාර්තා කර ගනිමින් සහභාගී වූ තරග හතරේම ජයග්‍රාහී ස්ථාන ලබා ගැනීමට සමත් විය.

‘Supermotard’ ධාවන ඉසව්වේ තරග දෙකේම විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට ඉමල් මංචනායක සමත් විය. තාර ධාවන පථයේ සිට දූවිලි සහිත ධාවන පථයට පිවිසෙන ස්ථානයේ දී ‘Supermotard’ ක්‍රීඩකයින් රැසක් අනතුරුවලට ලක්වූ අතර දේශාන් සොලන්කි තරග දෙකේම දෙවන ස්ථානයත්, බුද්ධික ධනංජය තුන්වන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය වෙනදාට වඩා අඩු බවක් පෙන්නුම් කළ අතර ක්‍රීඩකයින් රැසක් අනතුරුවලට ද ලක්වීම කැපී පෙනුණි. එක් අවස්ථාවක දී යතුරුපැදි ධාවකයෙකු ධාවන පථය මත ඇද වැටුණු අතර පසුපසින් පැමිණි සෙසු ධාවකයින්ගෙන් බේරීමට ඔහුට තමාගේ යතුරු පැදියත් ඇදගෙනම ධාවන පථයෙන් තනිවම පිටතට පැමිණීමට සිදු විය. ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් මීළඟට පැවැත්වීමට නියමිත තරගාවලිවල දී වත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සංවිධායකයින්ගේ වගකීමයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<