KINGS Xl ලොක්කාගෙන් චීන සමාගම්වලට දැවැන්ත කනේ පහරක්

446

ඉන්දියාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් පැවති සියලුම ද්විපාර්ශ්වික සබඳතාවන් මේ වන විට තාවකාලිකව සීමා කිරීමට දෙරටේ රාජ්‍ය නායකයින් පියවර ගෙන තිබෙන්නේ ඉන්දු-චීන දේශසීමාවන් ආසන්නයේ පසුගිය දා සිදු වූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීම මාලාව සඳහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. 

දෙරටේ ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවක් නිසාවෙන් ඉන්දීය සෙබළුන් 20දෙනෙකුට පමණ දිවි අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

ඉන්දු-චීන ගැටුමට මැදි වූ “VIVO” IPL ගැන අවසන් තීන්දුව ඉදිරියේ දී

තම මව්බිම වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් පිරිස සිහි කරමින්, ඔවුන් හට තම ප්‍රණාමය පුද කිරීම සඳහා ඉන්දීය ජනතාව එකා මෙන් පෙළ ගැසෙමින් සිටින මොහොතක චීනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට විරුද්ධව හඬ නැඟීමට දැවැන්ත ජන බලවේගයක් ද මේ වන විට එරට තුලින් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ. 

චීන නිෂ්පාදන සහ සේවා සියල්ල වර්ජනය කරමින් තම විරුද්ධත්වය තරයේ ප්‍රකාශ කර සිටීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ද ඒ අනුව ඉන්දීය සමාගම් සහ ව්‍යාපාර හිමියන් සූදානමින් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටිති.

චීන තාක්ෂණික සමාගම් කිහිපයක් යටතේ  ලියාපදිංචිව ඇති දුරකථන යෙදුම් 59කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් පාහේ එරට තුල භාවිතා කිරීම තහනම් කළ ඉන්දීය රජය සඳහන් කර සිටියේ ඉදිරියටත් මෙවැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන බවයි. 

මේ අතර ලොව අංක එකේ ක්‍රිකට් ලීගය ලෙස නම් දරා සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මූල්‍යමය අනුග්‍රහකත්වය දක්වන චීන ආයතනයන් කිහිපයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද නිශ්චිත එකඟතාවකට පැමිණීමට තරගාවලි සංවිධායකවරුන් ඉදිරියේ දී අපේක්ෂාවෙන් පසු වේ.

සමස්ත ප්‍රජාවම එකම අරමුණක් වෙනුවෙන් පෙලගැසෙමින් සිටින මොහොතක, රට පළමු කාර්‍ය කරගනිමින් සෘජු තීරණයක් ගැනීමට තරගාවලි සංවිධායක කමිටුව හට සිදු වනු ඇතැයි කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම් සම හිමිකරු නෙස් වාඩියා මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික මතය ප්‍රකාශ කොට තිබුණි.

බොරු ඌව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ වැඩක් ද? 

අපි මේ වෙලාවේ දී බය නැතුව කොන්ද කෙළින් තියන් හරි තීරණයක් ගන්න ඕන. මුදල් පස්සේ යන එක නෙමෙයි නියම ඉන්දියානුවෙක් මේ අවස්ථාවෙදි කරන්න ඕන. රට තමයි අංක එක විය යුත්තේ වෙන දේවල් නෙමෙයි. මේක ඉන්දියන් ප්‍රිමියර් ලීගය මිසක් චීන ප්‍රිමියර් ලීගය නෙමෙයි. වචනවලට ජාතිකාලය සීමා නොකර ක්‍රියාවෙනුත් කරලා පෙන්නන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.”

මුලින් අපිට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක සාමාන්‍යයයි. මට හොඳටම විශ්වාසයි අපිට ඉන්දියානු සමාගම් වලින් අවශ්‍ය මූල්‍යමය සහයෝගය ඉදිරියේ දී ගන්න පුළුවන් වෙයි කියලා. අපි අපේ රටට, රජයට වගේම අපි වෙනුවෙන් ජීවිත වුනත් පරිත්‍යාග කරන්න සූදානමින් ඉන්න අභීත සෙබළුන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕන.”

IPL සන්නාමයෙහි අයිතිය වෙනුවෙන් වසර පහක කාලයක ගිවිසුමක් අත්සන් කොට ඇති ප්‍රමුඛ පෙළේ චීන දුරකථන සමාගමක් වන Vivo ආයතනය ඒ වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවා ඇති මුළු මුදලෙහි වටිනාකම දැක්වෙන්නේ ඉන්දීය කෝටි 440ක් ලෙසිනි. 

මීට අමතරව චීන ආයෝජකයින් සතු කොටස් හිමි Paytm, Swiggy, Dream 11 වැනි සුප්‍රසිද්ධ ආයතන කිහිපයක් ද තරගාවලියේ ප්‍රධාන පෙළේ අනුග්‍රාහක භවතුන් ලෙස ගෙවුණු වසර කිහිපය පුරාවට කටයුතු තිබේ.

තේ පැන් සංග්‍රහය අතරතුර බිහි වූ IPL ක්‍රීඩක වෙන්දේසිය

ඇතැම් කණ්ඩායම් ද මෙම සමාගම් සමඟ දීර්ඝකාලීන සබඳතා ගොඩනඟාගෙන ඇති බවට වාර්තා වන නමුත් උද්ගතව ඇති වාතාවරණය හමුවේ එම සියල්ල පසෙකලා රටේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමට සියලුම කණ්ඩායම් එකඟතාව පළ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වාඩියා මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

රජය මේ ගැන කියනකන් ඉන්න එක නෙමෙයි අපි මේ වෙලාවෙ දි කරන්න ඕන. මම නම් කියන්නේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කෙනෙක් නම් ආයිත් දෙපාරක් හිතන්නේ නැහැ මේ තීරණය ගන්න. අපේ රටට ගරු කරන්නේ නැති වෙනත් ජාතිකයකින් කිසිම උදව්වක් එපා කියන තැනයි මම ඉන්නේ. ඉන්දීය සමාගම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා බලාපොරොත්තු වෙනවා.”

මම ඇත්තටම තදින් විරුද්ධයි චීනෙ නිෂ්පාදනය කරන බඩු භාණ්ඩ අපේ රටට ආනයන කරනවට. මොකද ඒවගේ ප්‍රමිතිය ගත්තට පස්සේ ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. අපි වෙන රටවල් පෝසත් කරන කාලය ඉතුරු කරගෙන අපේ රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න අවධානය දුන්නොත් ගොඩක් වටිනවා. නැත්තන් අවසානයේ දී වෙන්නේ චීනය වාසි පිට වාසි ලබනකොට අපිට ඒ දිහා බලාගෙන සැනසෙන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<