IPL වෙන්දේසියට දින නියම වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

720

මේ වසරේ දී ආරම්භ වන 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි 12 සහ 13 යන දිනවල දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් දැනුම් දී තිබෙනවා.

වෙන්දේසිය පැවැත්වෙන දින නිවේදනය කළත් එය පැවැත්වෙන ස්ථානය පිළිබඳව සඳහනක් නොමැති අතර එය බැංගලෝර් හිදි පැවැත්වීමට වැඩි සම්භාවිතාවක් ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබුණා.

IPL සුපිරි ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 දිනවල දී පැවැත්වෙන අතර වෙන්දේසිය පැවැත්වෙන ස්ථානය අපි එම දිනවලට පෙර දැනුම් දීමට කටයුතු කරනවා”, යැයි IPL හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණා.

ඔහු විසින් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ තරගාවලිය මාර්තු සහ මැයි මාසවල දී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. “මම ඉතාමත් සතුටින් තහවුරු කරන්නට කැමති IPL තරගාවලියේ 15 වැනි අදියර මාර්තු මාසයේ අවසන් සතියේ ආරම්භ වී මැයි මාසයේ අවසානය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව.”

තරගාවලියේ නිල ආරම්භය අප්‍රේල් 2 වැනිදා ලෙස නිවේදනය කර තිබුනත්, Cricbuzz සඳහන් කර අන්දමට තරගාවලිය සතියකට පෙර, එනම් මාර්තු 27 වැනිදා ආරම්භ කරන බවයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වන නිසාවෙන් පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 60 සිට 74ක් දක්වා වැඩි වී තිබෙන අතර සතියකට පෙර තරගාවලිය ආරම්භ කිරීම තුලින් දිවා තරග සංඛ්‍යාව අඩු කර ගැනීමට සංවිධායකයින් අපේක්ෂා කරන බව Cricbuzz සඳහන් කර තිබුණා.

Shah විසින් තවදුරටත් සඳහන් කර සිටියේ කණ්ඩායම් හිමිකරුවන්ට තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට අවශ්‍ය වන බවත්, ඒ අනුව පාලක මණ්ඩලය ද තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට අපේක්ෂා කරනා බවයි.

“කණ්ඩායම් හිමිකරුවන් බහුතරයකගේ මතය තමයි තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීම. මෙවර තරගාවලිය සඳහා අහ්මදාබාද් සහ ලක්නව් වලින් කණ්ඩායම් දෙකක් අලුත් එකතු වන නිසා පාලක මණ්ඩලය ද තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට අපේක්ෂා කරනවා.

කෙසේ නමුත් මට කියන්න පුළුවන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට අපි සෑම උත්සාහයක්ම ගන්නවා. මින් පෙරත් පාලක මණ්ඩලය කිසිම මොහොතක තරගාවලියේ පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව කිසි විටෙක නොසලකා හැර නොමැති අතර කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයත් සමඟින් දෙවැනි සැලැස්මක් පිළිබඳවත් මීට සමගාමීව අවධානය යොමුකර තිබෙනවා“, යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<