බීමතින් අළුබඳුනේ ජය සැමරූ ක්‍රීඩකයින් ගැන පරීක්ෂණයක්

1881
abdullahspeaks

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් Hobart හි හෝටලයක බීමතින් හැසිරීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ සිදුවීම එම හෝටලයේ බලධාරීන් පොලිසියට ද දැනුම් දී තිබුණු අතර පොලිසිය පැමිණ එම ක්‍රීඩකයින්ව සිය කාමර වෙත යොමු කර තිබුණා.

Sydney Morning Herald වෙබ් අඩවිය විසින් මේ සිදුවීමට අදාළව ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා. එංගලන්ත ක්‍රීඩකයින් වන Joe Root හා James Anderson, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන  Nathan Lyon, Travis Head හා Alex Carey සමඟ රැඳී සිටිනු එම දර්ශනවල දක්නට තිබුණා.

දෙරට අතර පැවති අළුබඳුන තරගාවලියේ පස්වැනි ටෙස්ට් තරගය අවසානයේ මෙම සිදුවීම ඇතිව තිබුණු අතර ක්‍රීඩකයින් සියලු දෙනා තරගය ක්‍රීඩා කළ සුදු නිල ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

Hobart හි Crowne Plaza හෝටලයේ මෙම ක්‍රීඩකයින් රැඳී සිටි අතර ටෙස්ට් තරගය අවසන් වී පසු දින උදෑසන 6 පමණ වන තුරු ඔවුන් එම හෝටලයේ රැඳී ප්‍රිය සම්භාෂණයක නිරතව තිබෙනවා.

පසුව ඔවුන් අධික ලෙස ශබ්ද කිරීම නිසා හෝටලයේ රැඳී සිටි අමුත්තන් පොලිසියට පැමිණිලි කර තිබුණු අතර පොලිසිය පැමිණි වහාම ක්‍රීඩකයින් සාදය නවත්වා සිය කාමර වෙත ගොස් තිබෙනවා.

එංගලන්තයේ සහය පුහුණුකරු Graham Thorpe විසින් මෙම දර්ශන පටිගත කර තිබෙන බව වාර්තා එනවා. එහි දී පොලිස් නිලධාරිනියක් ක්‍රීඩකයින්ට පවසා සිටින්නේ, “ශබ්දය වැඩියි, ඔබලාට කියලා තියෙනවා මෙතනින් ඉවත් වෙන්න කියලා, ඒකට ප්‍රතිචාර නැති නිසා අපිට එන්න කියලා තිබෙනවා. දැන් නිදාගන්න වෙලාව, ස්තුතියි. හෝටලයේ අයට මෙතන වැඩ හමාර කරන්න අවශ්‍යයි.”

එංගලන්ත පුහුණුකරු Thorpe මෙසේ පවසන හඬ ද පටිගත වී  තිබුණා. “මෙතන ඉන්නවා Nathan Lyon, Root වගේම Carey හා Anderson. මම මේක වීඩියෝ කරන්නේ නීතිඥයින් වෙනුවෙන්. ඔබලාව උදෑසන හමුවෙන්නම්.”

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් පවසා සිටියේ මේ සිදුවීම ගැන පරීක්ෂණ පවත්වන බවත්, එහි දී විශේෂයෙන්ම මේ වීඩියෝ පටය අන්තර්ජාලය වෙත නිදහස් වූයේ කෙසේ දැයි සොයා බලන බවත්ය.

එමෙන්ම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණේ එංගලන්ත ක්‍රීඩකයින් මේ පිළිබඳව සමාව ඉල්ලා සිටි බවයි.

espncricinfo ඇසුරින්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<