“ෆිට්නස්” ගැන අතුලගේ සංවේදී මතකය

2541

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඉතා දුෂ්කර මූල්‍ය අවධීන් පසුකරමින් ඉදිරියට පැමිණි ක්‍රිකට් ක්ෂේත්‍රයකි. එය තුළට දැවැන්ත ලෙස මුදල් ගලා ඒම සඳහා ඉවහල් වූ ප්‍රධානතම සාධකය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය බව සිහිපත් කළ යුතුය. අද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් මහජනයා අතර පවත්වාගෙන යන පෞර්ෂයන් එකල ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබුණේ නැත. ඔවුන්ට මුදල් ලැබුණේද සුළු ප්‍රමාණවලින් වූ අතර ඔවුන්ට පහසුකම් සැපයීමට තරම් වත්කමක් එකල ක්‍රිකට් පාලක මණ්ඩලය සතුද නොවීය.

එහෙත් දූරදර්ශී පාලකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන්ගේ දහදියෙන් ටෙස්ට් මට්ටමද ඉක්මවා, එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයක් ද දිනාගෙන, අද පවතින මට්ටම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවීම ක්‍රිකට්ලෝලීන් ලෙස අප ලද වාසනාවකි.   

අතුල සමරසේකර යනු 80 දශකය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පිතිකරුවෙකු මෙන්ම මඳ වේගපන්දු යවන්නෙකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 39කටත් ටෙස්ට් තරග 4කටත් ක්‍රීඩා කොට ඇති අතුල දක්ෂ රචකයෙකුද වන බව ඔප්පු කළ හැකි හොඳම සාධකය නම් ඔහුගේ සමාජ ජාලා ගිණුම් ය.

මෑත සති කිහිපය ඇතුළතදී වේගයෙන් පැතිර ගිය “ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ගැටලුව” ගැන වෙනස්ම කෝණයකින් විමසා බලන්නට අතුල සමරසේකරයන්ට හැකිවන්නේ, පැවති දුෂ්කර කාල පරාසය අත්විඳි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙනි. මේ ඔහු සමාජ වෙබ් අඩවියක් මත සටහන් කොට තිබූ “අපේ ෆිට්නස්” නම් අනර්ඝ ලිපිය විමසන්නට අප දරන කාලෝචිත උත්සාහයකි.

අපේ ෆිට්නස්….

“මේ දවස්වල
මාතෘකාව ෆිට්නස් නිසා
මම අපේ ෆිට්නස් කතාව කියන්නං
මගෙ මතකයෙ හැටියට ….
මගේම පෞද්ගලික අත්දැකීම්
මගේම පැත්තෙන් මට බලපෑ විදියට තමයි ලියන්නෙ ….
සමහරවිට මම කියන දෙයම
මගේ කාලෙ තවත් එකෙකුට
වෙනත් විදියකට පෙනිල
තියෙන්නත් පුළුවන් ….
ඒ අපේ ආර්ථිකය අනුව
ජීවත් වූ රටාව ජීවත්වූ වටපිටාව
අපි එකිනෙකාගේ අවශ්‍යතාවයන් සහ
තවත් එවැනිම වූ කරුණු පදනම් කරගෙන ….
මම හිතන්නෙ නැවත නැවතත්
අපේ කාලෙ කියල පටන් ගන්න අවශ්‍යතාවක් නෑ ….
මම කතා කරන්නෙ අපේ කාලෙ ඒව තමයි ….”

ඔහු රචනය අරඹන්නේ එලෙසයි. මේ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන්ම ලියැවුණු රචනයක් බව ප්‍රථමයෙන්ම අපට අවබෝධ කොට දෙන අතරම කාලය බොහෝ සෙයින් වෙනස් වී ඇති බවද වර්තමාන තරුණ තරුණියන් ඉදිරියේ ඔහු පිළිගනියි. එමෙන්ම මේ ඔහු විසින් භාවිත කරන්නේ නිදහස් අදහස් දැක්වීමේ අයිතිය බැව්ද ඔහු අපට සිහිපත් කොට දෙයි.

“අපි ඉතිං දැන් චමින්දල නිසා
අද කාලෙ ඒවට
අවුට් ඔෆ් ටච් නෙ ….
ඉස්සර ජිම් නෑ ….
ට්‍රේනර්ල නෑ ….
ඔන්න පටන් ගන්න කලින්
කෙලින්ම කියුව ….
ළඟම තිබුන ජිම් එක ක්‍රීඩා අමාත්‍යාංශෙ ….
ඒකෙත් තිබුණ සියල්ලම වගෙ
පළවෙනි ලෝක යුද්දෙ කාලෙ පාවිච්චි කල බඩු ….
එපමණටම පරණයි නැතිවට හොඳයි ….
ඔය අසූහය අසූහත වසරට පෙර ….
අපේ කැමැත්තෙන් අපිම දුවල
අත් දෙකේ හයිය ඇති හැටියට
අපිම ඩිප්ස් ටිකක් ගහල
සිට් අප්ස් ටිකක් කරල
අපිම ෆිට් උනා ….
(ඒව සැලසුමකට කරපුව නම් නෙවි)”

ආඩම්බරකාර බොහෝ තරුණ තරුණියන් නොදන්නා දෙයක් නම් අත්දැකීම් තරම් ජීවිතය කියාදෙන අන් පාසලක් නොමැති බවයි. “චමින්දලා” එසේත් නැත්නම් “නාකියන්” සේ සමහරක් තරුණ තරුණියන් විසින් හැඳින්වෙන “වැඩිහිටියන්ගෙන්” තරම් නොදත් දේ අසා දැනගත හැකි වෙනයම් කෙනෙක් නැත. ඔබට කසල කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකුගෙන් උගත හැකිය. එනමුත් ඔබට වයෝවෘද්ධ කසල ශෝධකයෙකුගෙන් ලබාගත හැකි, අත්දැකීම්වලින් සරු ඉගැන්වීම් මහාචාර්යවරයාගෙන් නොලැබෙනු ඇත.

එකල ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන තිබී නැත. ශාරීරික යෝග්‍යතා උපදේශකයන් සිටද නැත. ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පමණක් පැරණි ව්‍යායාම උපකරණ එක්කොට පවත්වාගෙන ගිය ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් තිබුණු බැව් අතුල කියයි. එහෙත් කිසිදු උපදේශනයක් නොමැතිව, ක්‍රීඩාව පිළිබඳ වූ “ඇම්මට” ව්‍යායාම කිරීම එකල ක්‍රීඩකයන්ගේ  පුහුණුව වූ බැව්ද ඔහු කියයි.  

“සැලසුමකට කරන්න
අපි දැනගෙන හිටියෙත් නෑ
කියාදෙන්න එකෙක් හිටියෙත් නෑ ….
කරන අනෙක් උන් දිහා
බෙල්ල දික් කරගෙන බලාගෙන ඉඳල
තමයි ඉගෙන ගත්තෙ
ෆිට් එකේ ඉන්න ඕන නිසා
පුළුවන් හැමදේම පුළුවන් විදියට
පුළුවන් වෙලාවට කළා …
මම ඒකාලෙ ව්‍යයාමයකට කළ
එක දෙයක් තමයි
විකට්ටුව තලන ගල් රෝලෙ අරගෙන
පිට්ටනියෙ තණකොළ වැඩි හරියෙ
මීටර් දහයක් පහළවක් විතර ….
එක පැත්තකට තල්ලු කරනව ….
අනෙක් පැත්තට ඇදගෙන යනව ….
ලේසි නෑ වැඩේ ඇඟට වදිනව රිදෙන්න….
(ඒක ඉගෙන ගත්තෙ
ගාල්ලෙ සදර්න් ක්ලබ් එකට
පාපන්දු ක්‍රීඩා කල බූච්ච අයියගෙන් …
එයාගෙත් වැඩේ හවසට තනියෙන්
ගල් රෝලෙ තල්ලු කරන එක ෆිට්නස් වලට)
හුඟක් වෙලාවට
වැඩ ඉවරවෙල කලින් ඇවිල්ල
ටැමිල් එකේ ජයසේනගෙන් නැතිනම් සීසීසී එකේ සුමිත්ගෙන් ගල් රෝලෙ ඉල්ලගෙන
තනියෙන්ම ටික වෙලාවක් විකට්ටුව තලනව ….
ඔය තමයි මගෙ ෆිට්නස් ….
ඒ වෙලාවට ජයසේනයයි සුමිතුයි
තමයි මගෙ සුපර්වයිසර්ල ….
උනුත් මට ඉඳල හිටල වදේ දෙනව ….
” අයියෝ අතුල මහත්තය
සෙනසුරාද මැච් එක පටන් ගන්න කලින්
වැඩේ ඉවර කරන්න ඕන
මෙහාට දෙන්න තව ක්‍රීස් අඳින්නත් ඕන කියල”
උන්ට ඉතිං මම ටිකක් ස්ලෝ ….
ඇයි යකෝ!
උන් තුන් හතර දෙනෙක් අදින එක
මම තනියෙන්නෙ අදින්නෙ …”

ඔහුගේ අත්දැකීම ඔහු විසින් ගෙනහැර දක්වන ආකාරය සරල වන අතරම රසවත් ද වූවත් එහි සැඟවුණු ගැඹුර දෙස බලන්නටැයි මම නුඹට ආරාධනා කරමි. එකල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෘත්තීයමය ක්‍රීඩකයන් නොවීය. මේ පැරණි ක්‍රීඩකයන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ වෙනත් රැකියාවකද නිරතවන අතරතුර යි. ව්‍යායාම ඉගෙනීමට කිසිවෙකුත් නොසිටි බැවින් අහල පහලක වූ යමෙක් ව්‍යායාම කරනු බලා සිට එලෙස ව්‍යායාම කිරීමය ඔවුන්ගේ පුරුද්ද. එසේත් නැත්නම් තමන්ට වඩා වැඩිමල් සොයුරෙකුගෙන් විමසා අනුගමනය කරනු හෝ කම්කරුවෙකුගෙන් ගල් රෝලය ඉල්ලාගෙන කැරකවීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොවීය. තණතිල්ල මත ගල් රෝලය කැරකවීම නම් රසවත් මෙන්ම සංවේදී වන්නේ අද එවන් “කට්ටක්” කෑමේ අවශ්‍යතාවයක් බොහෝ ක්‍රීඩකයන්ට නොමැති බැවිනි.

“පස්සෙ අසූහතේ විතර කාලෙ
බෝඩ් එකෙන් ලැහැස්ති කරල
ක්‍රීඩා අමාත්‍යාංශෙ පුහුණුකරුවන්
ඩර්විනුයි රොහානුයි
අපිට ශාරීරික ව්‍යයායාම කෙරෙව්ව …..
අමාත්‍යාංශයෙම
පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ
පාවිච්චි කරපු එක්සයිස් මැෂිමක්
දෙකක් තිබිල ඒවැයිනුත් වැඩ ගත්ත ….
ඒව උඩ පහල යනකොට සද්දෙ නවත්වන්න
සයිලනට් සයිලෙන්සර් හයිකරන්න වෙනව ….
ඇයි දැන් කාලෙ
සයිලන්ට් නැති සයිලන්සර්
තියෙනවනෙ ….
නැතිනම් කන් දෙක කීරි ගහනව ….
ඒ යකඩ ගොඩවල් දැන් තියෙන ඒවැයි
අහලකින් තියන්න බෑ ….”

නවීන ව්‍යායාම පහසුකම් ඔවුන්ට නොතිබුණි. නමුත් 1987 වර්ෂයෙන් පසු ක්‍රීඩා අමාත්‍යංශයේ ශාරීරික උපදේශකයන් වූ නැසීගිය ඩර්වින් පෙරේරා මහතා සහ රොහාන් යන මහත්වරුන්ගේ සහය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදීමට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. ඔවුනට නිසි ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු ලබානොදුන්නේ මන්දැයි දැන් ඇතැමෙකු අසාවි. ටෙස්ට් වරම් හිමිකරගෙන තිබුණත් ශ්‍රී ලංකාව එවකට ලොව ප්‍රමුඛ ක්‍රිකට් රටක් නොවේ. එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත් ස්ථාවර මූල්‍යමය පදනමක නොසිටියේය. එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍යමය අතින් කෙතරම් දුර්වල මට්ටමක සිටින්නට ඇත්දැයි යන්න ඔබට පැහැදිලිද?

“එකම එක දවසක් මට මතකයි
අපිව ටාජ් එකේ ජිම් එකට අරන් ගියා ….
එදාට පස්සෙ මම ආයිත් ගියෙ නෑ
ඇයි එතනට යන්න බස් හැටක විතර
යන්න ඕන නිසා ….
ඒ අසූව අවසාන කාලෙ විතර ….
ඒ පුහුණුවත් සංචිතයෙ ඉන්න අයට පමණයි ….
සංචිතයෙන් හැලුනොත් ….?
(ඒ දවස්වල අපි නිතරම හලනව ගන්නව ඒවයෙ ගානක් නෑ ….. ප්‍රයිවෙට් බස් ගල්කිස්ස කොළඹ දුවනව වගේ)
අපේ ෆිට්නස් සයිවර් කාල හරි
අපිම බලාගන්න ඕන ….
සංචිතයෙන් හලපු කාලෙට
සීසීසී ඩ්රෙසින් රූම් එකේ තිබුන
මලකඩ කාපු වෙයිට්ස් සෙට් එක
තමයි මගෙ පිහිටට හිටියෙ ….
ට්‍රේනර් කෙනෙක් හිටියෙ නෑ ….
පුස්තකාලෙන් පොතක් බලල
ඒ පිළිවෙලට බර උස්සනව
චරියා, පොඩි ජුරා තමයි මගෙ පාට්නස්ල ….
උන් දෙන්න මට ෆිට්නස් කෝචින් ….
තමන් දන්න දේ අනෙකට කියා දෙමින්
අපි සහයෝගෙන් බර ඉස්සුව ….”

එකල ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මහමඟ ගමන්කළේ බස්රියෙනි. පෝෂණ උපදේශකයන් නැත. අතුල සමරසේකරයන් “සයිවර් කාලා හරි ෆිට්නස් බලාගන්න ඕනැ”යි කියන්නේ එබැවිනි. ශරීර සුවතා උපදේශකයන්ද නොමැති බැවින් පොත්පත් පරිශීලනයෙන් හෝ කිසිවෙකුගෙන් අසා දැනගත් දේ බෙදා හදාගනිමින් ව්‍යායාම කරන්නට ඔවුනට සිදුවිය. මෙහි “චරියා” යනු චරිත් සේනානායක යි. “පොඩි ජුරා” නම් රොෂාන් ජුරන්පති ය.

“නැතිනම් CH & FC රගර් ගහපු
කොල්ලො සෙට් එක ….
අපරාදෙ කියන්න බෑ උන් ටික ෆුල්
බකප් එකක් දුන්න
ඒ කාලෙ අපි ඔක්කොම එකයි …
දුරස් උනත් තවමත් එහෙමයි ….
(Respect Brothers)
බර උස්සල ඉවර වෙනකොට
අත්දෙක දුඹුරැ පාටයි ….
වෙයිට්ස් පොල්ලෙ මලකඩ කපල එකයි ….
වෙලාවට පොඩි කාලෙ හැම සතියෙම
අම්ම වෙනිවැල් ගැට තම්බල
බොන්න දීල අපි හැදුවෙ නැතිනම්
මලකඩ තොගේ හැටියට
අල්ලපු ගෙදර එකාටත් පිට ගැස්ම සහතිකයි ….”

අතීත ක්‍රිකට් ක්‍රීඩක මතකයන්ගේ රසවත්භාවය විඳින අතරම අප විග්‍රහ කරගත යුතු කරුණක් නම් ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යෑම ඔවුනට කෙතරම් දුෂ්කර වීද, එහෙත් ඔවුන් කෙතරම් ඊට කැපවුණි ද යන්න යි. එමෙන්ම දේශීය ආහාර පානයන්ගේ වැදගත්කම ගැනද ඉඟිකරන්නට ඔහු අමතක නොකර ඇත්තේ “වෙනිවැල් ගැට” සිහිකරමිනි. ඔහු විසින් එකල CH & FC කණ්ඩායමේ ක්‍රීඩකයන් වශයෙන් චින්තක එදිරිමාන්න සහ අසංග සෙනවිරත්නව මෙහිදී සිහිපත් කොට තිබිණි.

“පහු කාලෙක පින්ටො
අපිට ෆිට්නස් කරන්න අාව ….
පින්ටො ගුවන් හමුදාවෙ නිසා ….
එයාර් ෆෝස් ට්‍රේනින් තමයි අපිට දුන්නෙ ….
එන් සීසියෙ වට විසිපහ තිහ දුවනව ….
කබරයො වගෙ බඩ ගානව ….
රිලව් වගේ උඩ පනිනව ….
එස් ස් සී පූල් එකේ මාළුවො වගෙ බස්සනව ….
ඇක්ෂන් පැක්ඩ් ….
ඒ ටික කරල ඉවර උනහම
එයා ෆෝස් ….
මෙයා ෆෝස් ….
වගේ තමයි පේන්නෙ ….
හවස පුහුණුවට ජිංතු නෑ ….
එතකොට රාජමහේන්ද්‍රන්
ඉන්න කාලෙ
ජේ.ඒ.ටී. ලිවේරත් ආව
ඒ දවස් වල අපි බ්ලැක් බෙල්ට් ….
හුහ් හුහ් ක්‍යා හුවා ගගා ….
අතපය විසි කර කර
කලිසමේ කඩි රිංගල වගේ ඇඹරෙනවා ….
එක විකාරයයි …”

මෙහි ඔහු ගෙනහැර පාන මතකයන් කියවන විට නැගෙන සිනහව නෙතට කඳුළු ගෙන එන තරම් වූවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නිසි ශාරීරික යෝග්‍යතා උපදේශකයෙකු ගෙන එන්නට තිබූ අපහසුව නිසා ඔවුන් විසින් ශරීර සුවතාවය වර්ධනය කර ගත හැකි සෑම අයුරක්ම අත්හදා බලන ලද්දේය. විටෙක හමුදා අභ්‍යාසකවරුන්, සටන් කලා අභ්‍යාසකවරුන්ට අනුව හැඩගැසෙන්නට ඔවුන්ට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් අද පවතින උසස් මට්ටමට ගෙන ආවේ එවන් දුෂ්කරතා මධ්‍යයේයි.  

“පස්සෙ ඩෙන්සිල්
ඇවිල්ල CR & FC එක වටේ
දුවන්න දුන්න ….
ගල්කිස්සෙ බීච් එකේ ….
වැල්ලවත්තෙ බීච් එකේ ….
නිදහස් චතුරශ්‍ර වටේ ….
ෆිට්නස් කෝච්ල මාරු උනාට
දිවිල්ලෙ වෙනසක් උනෙ නෑ …,
ඔය දුවපු දිවිල්ල කෙලින්ම දිව්වනං
ඒ දවස්වලම මෙල්බන් හන්දියෙ කඩේකින්
රා කට්ටක් ගහල ආයෙත්
ගාල්ලෙ චීන කොරටුවෙ ගෙදරටම
දුවල එන්න තිබුන ….
පූල් එකේ හිටිය අවුරැදු දහයට දොළහට
එච්චරටම දුවන්න ඇති ….
චන්ද්‍රශාන් ඩර්වින් රොහාන්
තමයි පුංචි සැලසුමකට හරි
කටයුතු කරේ ….”

ජාතික සංචිතයේ ක්‍රීඩකයන් වශයෙන් බස්රථයේ පැමිණ සිය නිවසින් ලැබෙන යමක් ආහාරයට ගෙන කෙතරම් කැපකිරීමක් ඔවුන් කර ඇත්දැයි ඔහුගේ රචනය විනෝදාත්මකව හෝ අපට පැහැදිලි කරයි.

“දැන් මේව කියවන
උඹල හිකි හිකි ගගා හිනහවෙයි ….
හැබැයි කාපු පරිප්පුව දන්නෙ
අපි විතරයි ….
දැන් ඔය ෆිට්නස් කරන්න
අපි එන්නෙ පාරෙ බස් එකෙනෙ ….
ගෙදර ඉඳල බස් හෝල්ට් එකට ….
පයින් ඇවිල්ල ….
නගින බස් නොම්මරේ අනුව
රූපවාහිනී සංස්ථාව ළඟ
නැතිනම් නොමෑඩ්ස් එක ළඟ බැහැල
(දැන් නෙළුම් පොකුණ)
එන්සීසියට පයින් ගිහිල්ල ….
ෆිට්නස් ඉවරවෙල ඔය කෝස් එක
අනික් පැත්තට ආයිත් කරන්න එපැයි ….
ඉතිං පාන්දර පහට ෆිට්නස් වලට එන එකා
ෆිට්නස් පටන් ගන්න කොටම
බාගෙට මැරිල ….
එතකොට ඉවරවෙල බස් එකේ
යනකොට කොහොමද හිතාගන්න පුළුවන්නේ ….
අනික එක දවසක්යැ ….
පූල් එකෙ ඉන්න තාක් කල්
සෙනසුරාද ඉරිද පෝය නිවාඩු
හැර හැමදාකම හැම එකාම
ඕක කරා ….
වෙනසකට තිබුනෙ ටික දෙනෙකුට පමණක්
කාර් තිබුණ ….
අපි වගේ උන්ට ලංගමේ පිහිට ….
ෆිට්නස් විතරනං මදෑ
ඇයි දෙකහමාරට ප්‍රැක්ටිස් ….
ඉතිං පොඩ්ඩක් හිතපල්ලකො
ඒකාලෙ අපි කාපු ෆිට්නස් පරිප්පුව ….
අපේ ඇට ටිකවත්
ඉතුරු උනා මදෑ ….
අනූ හතරෙ
මම පැන්ෂන් යන කොටත්
බෝඩ් එකට ජිම් එකක් නෑ ….”

සැබවින්ම “රටට ක්‍රීඩා කිරීම” යනු මෙයයි. ලැබෙන දෑ සුළුවුවත් තම උපරිම කැපවීම රට වෙනුවෙන් ලබාදෙන්නට එකල ක්‍රීඩකයන් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වූ බැවින් අද අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ ඇත.

ඒ කැපවීම්වල ප්‍රතිඵලයක් ලෙස 1996 වසරේ ලෝක කුසලානය මේ තුන්වන ලෝකයේ රට වෙත රැගෙන එන්නට ඒ ප්‍රවීණයන් සමත් විය. වත්මන් ක්‍රීඩකයන්ද නොයෙකුත් කැපවීම් කරමින් වෘත්තීයමය වශයෙන් ක්‍රීඩාවේ නියැලෙන බව අපි දනිමු. එහෙත් ඒ ගැන ආඩම්බර වීමට ප්‍රථම රට වෙනුවෙන් තවත් කැපකළ හැක්කේ මොනවාදැයි ඔවුනට කල්පනා කළහැකි නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේස්ත්‍රයේ උන්නතිය සඳහාම වනු ඇත.

අප අරමුණු කරන්නේ ප්‍රවීණයන් විසින් නොයෙක් දුෂ්කරතා මැද ලෝක තලයට ඔසවා තැබූ ක්‍රිකට් ක්‍රීඩාව හෑල්ලුවට නොගෙන තම උපරිම කැපවීමෙන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට නිර්මාණය කිරීමයි. ඒ සඳහා අතුල සමරසේකර වැන්නන්ගේ විශේෂඥ අදහස් ඉවතනොලා ඒවාට සවන් යොමුකිරීම ඉතා වැදගත් ය.

අතුලගේ රචනය විනොදාත්මක ය. එහෙත් ඉන් එහාවට යන ගැඹුරක් සහ දැවැන්ත පාඩමක් ඇත. ThePapare.com අපගේ අරමුණ මුදුන්පත් වන්නේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ගැඹුර අධ්‍යනය කරන්නේ නම් පමණි.

  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<