මැතිව්ස්, චන්දිමාල් සහ චමීර නැවතත් සංචිතයට

1978
SL Test Squad

ආබාධයෙන් සම්පූර්ණ සුවය ලැබූ ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම මස අගදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේදී පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙහෙයවීම සඳහා වරම් හිමිව තිබේ.

පසුගිය ලිපි: දික්වැල්ලගේ ශතකය NCC කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙනෙයි

එසේම දේශීය ක්‍රිකට් තරගයක් අතරතුරදී මහපටැඟිල්ලේ අස්ථි බිඳීමකට මුහුණ දුන් උප නායක දිනේෂ් චන්දිමාල්ද නැවත ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව තිබේ. මෙම ආබාධ තත්ව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයාට හා උප නායකයාට නිමාවූ සිම්බාබ්වේ සංචාරය සම්පූර්ණයෙන්ම අහිමි විය.

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකා පිළේ එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට මුහුණ දුන් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මාස හයක පමණ නිහැඬියාවකින් අනතුරුව නැවත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ එකතු වී සිටියි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් විසින් වේගය, දෝලනය සහ නිරවද්‍යතාවය අතින් සාර්ථක දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙස සලකනු ලබන විකුම් සංජය ද මෙවර ටෙස්ට් සංචිතයට පළමු වරට නම්කර ඇත. තවමත් වයස 24ක් වන ඔහු BRC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි. පසුගිය සතියේ විකුම් සංජය ඔහුගේ ප්‍රිමියර් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 102ට කඩුලු 7ක් බිඳ හෙලන ලදී. ඔහු ප්‍රථම ඉනිම තුලදී ඉන් කඩුලු 6ක්ම දවාලීමට සමත් විය.

පන්දුව දෙපසටම දෝලනය කිරීමට සංජය දක්වන හැකියාවත්, පන්දුවේ ඇති වේගයත් නිසා ඔහු තර්ජනාත්මක පන්දු යවන්නෙකු බවට පත්ව සිටියි. පළමු පෙළ තරග 17කදී ඔහු මේ වන විට කඩුලු 38ක් දවාගෙන සිටින අතර ඔහු නිමාවූ MCA ක්‍රිකට් තරගාවලියේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම නියෝජනය කරමින් A කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා ලෙසද තේරී පත්විය. සිම්බාබ්වේ සංචාරයේ ටෙස්ට් සංචිතයේ ස්ථානය අහිමි වුනු නුවන් ප්‍රදීප් ද මෙවර සංචිතය සඳහා ඉඩ ප්‍රස්ථාව වෙන් කරගෙන ඇත.

අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, ලහිරු ගමගේ සහ කසුන් මධුශංක යන තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට නම්කර සිටි ක්‍රීඩකයින්ට මෙවර සංචිතයේ ඉඩකඩ වෙන්වී නොමැත. තම මංගල ටෙස්ට් තරගාවලිය ලෙස සිම්බාබ්වේ සංචාරයට එක්වී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 225ක් රැස්කල අසේල ගුණරත්න අවාසනාවන්ත ලෙස තම ස්ථානය අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 10 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට තීරණය වී ඇත. නමුත් අද (07) පස්වරු 1 වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් සංචිතය නිල වශයෙන් නිවේදනය කර නොතිබුණි. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය ටෙස්ට් තරගයක් ලෙස ලබන 26 වැනිදා පෝට් එලිසබෙත් හිදී ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ධනංජය ද සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, විකුම් සංජය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට